Jumaat, 3 Julai 2015

ඔෂ්විට්ස් කඳවුර



රිදුම් දෙයි මහද
පය ගැටෙන
වාරයක් වාරයක් පාසා
මේ ඔෂ්විට්ස් කඳවුරු බිම....

ගෙවී ඇති මුත් බෝ කල්
හැඟෙනුයේ තවමත්
ඊයේ පෙරේදා මෙනි.....

ගෙන ආවේ මා මෙහි
පවුලේ අන් අය ද සමගිනි.....
මව.......පියා......
සහ සිඟිති නැගණිය ද......

රාත්‍රී තුනක් දිගු
වෙහෙසකර ගමනක් වීය එය
හරක් පටවන
දුම්රියක
කිටි කිටියේ තද බදව
මරන්නට ගෙනි යන
හරකුන් සේ ම
තද බද ව.....

කොතරම් තද බද වී ද එය
අත පය බැඳ දැමුවාක් වැන්න
නොබැන්ද ද.....

මා සිඟිති නැගණිය
පිපාසිතව දිය උගුරක් ඉල්ලා හඬන විට
දිය උගුරක් ද
කුඩා පාන් කැබැල්ලක් ද ඈට දුනිමි
අනතුරුව ඈ
මා ඇලයේ හිස හොවා නින්දට වන්නීය...
නමුදු මම
මුළු ගමන පුරාවට ම
අවදියෙනි....

දුම්රිය තැනක නැවතුනි..... 
හැරුනි දොරවල්.....
පිලිගැනීමක ලකුණකුදු නොමැති
නැවතුමක.....
භටයින් පැමිණියේ
අත
තුවක්කු පමණක් ගෙන නොව
බල්ලන්ද රැගෙන ය......
S S හමුදාවේ
මරණයේ හිස” නම් අනු ඛණ්ඩය......
සුබ නොපැතී කිසිවකුටත්
ඔවුන්......

වරක් දුටු සැනින් 
අණ දෙන්නන්
කියවා ගත හැකි විය
මට
ඔවුනගේ ඇස්........
මට ඔවුන්  පෙනුනේ
ජීවිත් වන මළ මිනී සේ ය
සිනහවක් තබා
වචනයකුදු නොදොඩන....

එය ශීත සමයයි....
මා ශීතලෙන් වෙවිළූ......
මා
ළය පුරා
ගැඹුරු හුස්මක් අරගතිමි
යටි සිත මට මිමිනුවේය.......
ඔබ
මරණයේ බිම්කඩට පැමිණි ඇත....

අණ දෙන්නා පැමිණ විට
වෙන් වන්නට සිදු විය අපට
සමහරුන් ට වැඩ කඳවුර.....
සමහරුන් ට ගෑස් කුටිය....

මවට ද පියාට ද
සිඟිති නැගණියන්ට ද
උරුම වූයේ ගෑස් කුටිය ය......
මට සදා වේදනාව ය......
අනුකම්පා විරහිතව.......
සිඟිති නැගණියට පවා......
ගෑස් කුටිය.........!
සැනෙන් ඔවුනගේ අළු
කඳවුරේ සැම අත ම විසිරින...

ගණන ගැන හැඟිමක් නොමැතිව
මූසල දීර්ඝ රාත්‍රීන් පහන් කළෙමි......
ඒ හැම රැයක ම
මගෙන් උදුරා ගත්
මව පියා...
සිඟිති නැගණිය සිහි වින....

වැඩ... වැඩ... වැඩ....
සෑම දිනකම
නොනවත්වා එක දිගට
වැඩ... වැඩ... වැඩ....
හැම දවසම බොහෝ සේ දිගු විය...
කුසට
අවැසි අහරින්
අඩක් පමණක් ලබමින්
ඒ සෑම දිගු දිනකම තිබුණේ
වැඩ...
වැඩ...
වැඩ......

අහේනිය සහ ශීතල........
පහරදීම් සහ භීතිය........
නින්දා කිරීම් සහ වධ බන්ධන.......
සෑම දිනකම
අත් විඳි
මරණයේ භීතිය......

පැතුම්සහගත බවක
සලකුණක්වත් නොතිබුණි........
ගැලවීමක සේයාවකුදු......
තිබුණේ නම් මගක්
නිදහස වෙත හැකි
ඒ මග වැටී තිබුණේ
විදුලිය කැවූ වැට මතිනි......

අවෑමෙන්
වසර ගණනක්
අසන්නට ලැබුණි කට කතා
යුද්ධය නිමාවන බව ගැන
රතු හමුදා
බර්ලිනය දෙසට එනයුරු ගැන
ප්‍රාර්ථනාවේ කට කතා.....

යුද්ධයේ අවසාන දින වල
නාසීන්
තව තවත් වියරු වැටින
ජෝෂුවා නම් කීවේ
උරුම කර දේවි යැයි සැමට ම
මරණය.......

හතලිස් පහේ
ජනවාරි විසි හත......
කඳවුර රතු හමුදාවන් අතට......
එහෙත් ඒ වන විට
අපි හැමෝම
ඇවිදින ඇටසැකිලි බඳු විය......

ඔවුන් අප වෙත සැපයීය.....
අහර ද......
පැන් ද......
සියල්ලට ම වැඩි වටිණ
නිදහස ද.....
ඒත් සමගම දුන්
යුද්ධයේ නිමාවේ පණිවිඩය.......
හැම දෙනම පාහේ
පුදුමෙනුත් පුදුමයට පත් වුණි....
එහෙත්මා සිතුවිලි පමණක්
හිරි වැට්ටවීය ඉන්.......

නිදහස ලැබුණු ඒ දින
මරණු බැරි වී
ඉතිරි කළ වුන්
වෙන්ව ගියහ දසත.......
බොහෝ අය සිය නිවෙස් වලට.......
එහෙත් මම
කොහි යම් ද.....?
මට පවුලක් නොවුනි......
ඔවුන් මගේ පවුල උදුරාගත් බැවිනි.......
ජෝෂුවා සමග මම ගියේ
ශාන්ත බාබරා වෙත ය......

යුද්ධයෙන් බොහෝ කලකට පසුව
බොහෝ කලකට පසුව
නැවත මම ඔෂ්විට්ස් වෙත ආමි
එහෙත් මෙවර ආවේ
සිරකරුවකු ලෙසින් නම් නොවේ......
සාක්ෂිකරුවකු වශයෙනි......

මේ භීම භූමිය......
ඔවුන් මා ළබැඳි සැමගේ
දිවි තොර කළ
භීම භූමිය........
මා මගේ මවු පියන්
සහ සිඟිති නැගණියන්
සිහි කළෙමි
මේ බිමේ
ගෑස් කාමර චිමිනියේ කවුළු අතරින්
ස්වර්ගයට යන ලද්දාහුය ඔවුහු.......
මට ආයුබෝවන් වත්
නොකියාම
ස්වර්ගයට යන ලද්දාහුය ඔවුහු.......

සුන් බුන් නෙත ගැටුණු විට
ගෑස් කාමරයේ
ජෝෂුවාගේ අත
තදින් මිරිකුනේ නිතැතිනි.......
මේ මගේ ළබැඳියන්
මැරූ තැන.......

මට දැනුනේ නෂ්ටාපේක්ෂාවකි....
හැඬුමට නොවිනි කඳුළක්
මා නෙත....

මේ බිමේදී මට
විවිධ හඬවල් ඇසෙනු දැනුනි.....
මිලියනයකුත් භාගයක්
ගැහැණුන් හා පිරිමින් ගේ
හා
ළමා ලපටින්ගේ
නාසීන්ගෙන් මැරුම් කෑ.......
ඒ සියල් හඬ අතුරින්
මා සිඟිති නැගනියගේ හඬ ද
පැහැදිලිව මට ඇසින......
සාරා......
ස්තුතියි ආවාට......
අපිව බලන්නට......

මම
මගේ ඇස් තදින් වසා ගතිමි......
මට තනි වෙන්නට අවැසි විය.......

කිව හැකිද නුඹලාට........
ඇයි නුඹලා අපිට මෙසේ කළේ.......
ඇයි..............?
ඇයි..............?

හැකි නම් හඬ නගන්නට
ලෝකෙට ම ඇසෙන්නට
ඇත්තේ වචන කිහිපයයි කීමට......
කිසි දිනක නැවතත් ඉඩ නොදෙනු
එවැන්නකට......
කිසි දිනක නැවත.......
කිසි දිනක නැවත.......

 වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ Auschwitz කවිය​ ඇසුරෙනි   අනුවාදය වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර.

12 ulasan:

  1. ඒවා නම් මහා දුක්බර කතා තමා....
    මරණයේ දොරටුව කියලා පොතක් තිබුනා මැගලන්ගේ කෲර වැඩ ගැන ලියවුනු....එකත් අවුස්ට්වෂ් වල ම තමා!!

    BalasPadam
    Balasan
    1. ඒක නම් එහෙමයි රූපේ

      Padam
  2. මට යමක් දැනගන්න තියනවා. මේ සමූලඝාතනය මිත්‍යාවක්ය කියල මතයකුත් තියනවා. ඒ අය ඉදිරිපත් කරන තර්කත් ප්‍රබලයි. මියගියායැයි කියන හැටලක්ෂය ගැන යුදෙව් මූලාශ්‍ර වල දිගු කලෙක සිට සදහන්ව තිබුනා . ඔවුන්ගෙ ප්‍රචාරක ව්‍යාපෘති වල අන්න හැට ලක්ෂයක් මළා මෙන්න පීඩා විදිනවා ආදී වශයෙන්.
    ඒ වගේම ඔය කාලෙ යුදෙව් ජනගහනය ඉතා කුඩයි. ඔය විදියට මැරුවත් ඔය සංඛ්‍යා ලේඛන ගැන නම් සැකයක් තිබෙනවා

    BalasPadam
    Balasan
    1. එවැනි අදහසකුත් තියනවා තමයි නමුත් නට්සීන් ගේ කුරිරු භාවය ඉන් අවම වෙන්නේ නැහැ

      Padam
    2. මේ ම්ලේච්ඡත්වය මට දරන්න බැහැ. ඒ නිසා සමූලඝාතනය මිත්‍යාවක්ය කියන පොයින්ට් වලට ආසයි .
      මට හිතෙන්නෙ මේක මානව ඉතිහාසයේම අතිශයින්ම ම්ලේච්ඡම ක්‍රියාව කියල.
      බයිබල් පාඨ උපුටා දක්වමින් යුදෙව්වන් ඔය හැට ලක්ෂෙ කතාව ගැන 1910 වගෙ ඈත කාලෙත් සදහන් කරල තියනවා.
      මට ඉතිහාසය වෙනස් කරන්න එකම එක වරක් අද්භූත බලයක් ලැබුනොත් පළමු තෝරාගැනීම යුදෙව් සංහාරය වැළැක්වීමයි.
      ඒ තරම්ම ම්ලේච්ඡ නිසයි.
      87/89 ටත් වඩා මට මෙය දැනෙන්නේ මෙහි ම්ලේච්ඡත්වය උපරිමය නිසයි.
      ජර්මානුන් ගැන මට තිබුනේ මහ අපුල හැගීමක්. එහෙත් පසුව අවබෝධකරගත්තා ම්ලේච්ඡත්වය යනු මානව අභ්‍යැන්තරයෙන් එන්නක් කියල. 87/89 ජෙවීපී කාරයන් හා ආරක්ෂක අංශ වල අය පිටසක්වලින් ආවෙ නැහැනෙ. ඒ නිසා ම්ලේච්ඡත්වය ගැන ජර්මානුන්ට පමනක් ඇගිල්ල දිගු කරන්න බෑ

      Padam
    3. ම්ලේච්ඡත්වය ගැන ජර්මානුන්ට පමනක් ඇගිල්ල දිගු කරන්න බෑ - ඇත්ත​

      Padam
  3. ජර්මනියයි ඊශ්‍රායලයයි අතර අද තියෙන සම්බන්ධකම මොනවගේ එකක්ද කියලා මට කිකමට හිතෙනවා. සාමාන්‍ය ජර්මන් ජාතිකයෝ අද ඔය අතීතය ගැන දරන අදහස්. අන්න ඒ වගේ දේ.

    BalasPadam
    Balasan
    1. බොහෝ ජර්මානු ජාතිකයන් නට්සි අතීතය ගැන ලැජ්ජා වෙති. නමුත් සමහර තරුණ කොටස් නියෝ නට්සි අදහස් දරති

      Padam
  4. යුදෙව්වො ජර්මනියට විරැද්ධව යුද්ධ ප්රකාශ නොකලා නන් ඔහොම වෙන්නෙ නැහැනේ....

    BalasPadam
    Balasan
    1. යුදෙව්වො ජර්මනියට විරැද්ධව යුද්ධ ප්රකාශ කළ බවක් ඉතිහාසයේ සඳහන් නොවේ. පළවන ලෝක යුද්දයේදී යුදෙව් සෙබළුන් ජර්මනිය වෙනුවෙන් සටන් කළහ​.

      Padam
  5. මැරුනේ සාරා පමණක්ම යයි සිත‍ා මේ කවිය යළි කියවන්න. මෙතැන ඇත්තේ සංඛ්‍යා ලේඛණ පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව එවිට වැටහේවි.

    BalasPadam
    Balasan
    1. මෙතැන ඇත්තේ සංඛ්‍යා ලේඛණ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ +++++++++++++++++++++

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook