Pages

▼

Tuesday, November 10, 2026

මිනිස් විඥානය (Consciousness) ඇති වන්නේ කෙසේද ?

             

 

(වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද How is Consciousness Formed? ලිපියේ සිංහල අනුවාදයයි. පරිවර්තන සහාය S.A.වික්‍රමසිංහ / ආචාර්‍ය විපුල වනිගසේකර. තවද මූලකෘති ලිපිය සම්පාදනයේදී කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් සහ යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජේම්ස් ඇල්කොක් ගේ මාර්ගෝපදේශනයන් කතුවරයා කෘතඥතා පූර්වකව සඳහන් කරයි )

විඥානය (Consciousness) යනු යම් ජීවියෙකුට තමා පිළිබඳව සහ තමා අවට බාහිර පරිසරය පිළිබඳව පවතින දැනීම හෝ අවබෝධයයි. විඥානය යනු මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව පුද්ගලයෙකු තමා අවට සිදුවන දේ, තමාගේ සිතුවිලි, හැඟීම්, මතකයන් සහ ශාරීරික සංවේදනයන් පිළිබඳව සක්‍රීයව අවධියෙන් සිටින (Aware) මානසික තත්ත්වයයි. විඥානයේ ප්‍රධාන ලක්ෂණ 3ක් තිබේ. එනම් ආත්මීය බව (Subjectivity) , ගතික බව (Dynamism / Change) සහ තේරීම් සහගත බව (Selectivity) වේ.

අපගේ මොළයේ බිලියන ගණනක් වන ස්නායු සෛල (Neurons) අතර සිදුවන විද්‍යුත් සහ රසායනික සන්නිවේදනය විඥානය බිහිවීමේ මූලික පදනමයි. විඥානගත මනසක් පැවතීමට මතකය අත්‍යවශ්‍ය වේ. වර්තමාන මොහොතේ සිදුවන දේ, අපගේ මතකයේ ඇති අතීත අත්දැකීම් සමඟ සැසඳීම සහ අනාගතය සැලසුම් කිරීමේ හැකියාව මඟින් මනසෙහි අඛණ්ඩ පැවැත්මක් (Continuity) ගොඩනැඟේ. "මම" කියා කෙනෙක් සිටිනවා යන හැඟීම සහ තමා අවට ලෝකයෙන් තමා වෙනම පුද්ගලයෙකු ලෙස වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව (Ego / Self) මතු වීමත් සමඟ සම්පූර්ණ විඥානගත මනසක් ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

විඥානය යනු තමා පිළිබඳව සහ අවට පරිසරය පිළිබඳව පවතින අවබෝධාත්මකභාවය ලෙසටද අර්ථ දැක්විය හැක විඥානය යනු පුද්ගලික මතකය, අත්දැකීම් සහ වර්තමාන මොහොත පිළිබඳ පවතින ආත්මීය අවබෝධය (Subjective awareness) වෙයි. විඥානය හැඟීම් දැනීමට , තීරණ ගැනීමට, සැලසුම් කිරීමට සහ ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව ලෙසටද සැලකේ.

විඥානය යනු එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාවලීන්ගේ එකතුවකි. ස්නායු ජාලවල ක්‍රියාකාරිත්වය, ස්නායු සම්ප්‍රේෂක (Neurotransmitters) මෙන්ම සංවේදක-චාලක අත්දැකීම් (Sensorimotor experience), සමාජයීය අන්තර්ක්‍රියා සහ ස්වයං-අවබෝධය වැනි බාහිර සාධක ද විඥානය හැඩගැස්වීමට උපකාරී වේ.

විඥානයේ වර්ධනය පරිණාමය සමඟ සම්බන්ධ වී පවතී. ජීව විද්‍යාත්මක, අත්දැකීම් සහ පරිණාමීය සාධක විඥානය සමඟ බැඳී පවතී. විඥානය වර්ධනය වන්නේ මතක පද්ධතියක් වශයෙනි. විඥානය යනු අඛණ්ඩ අත්දැකීම් ගලායාමක් සහිත ක්‍රියාවලියකි (එය ස්ථිතික වස්තුවක් නොවේ). විඥානය, තමා සහ ලෝකය අතර ගැඹුරු සන්නිවේදනයක් පවත්වමින් සිදුවන අඛණ්ඩ, ගතික අන්තර්ක්‍රියා සහ පරිවර්තනයන්ගෙන් සමන්විත වේ.

මිනිස් මොළය උපතින්ම සියල්ල සම්පූර්ණ කරගෙන පැමිණෙන්නේ නැත. විඥානය පූර්ණ ලෙස අවදි වීමට බාහිර පරිසරය අත්‍යවශ්‍ය වේ. දිනපතා ලබන අත්දැකීම්, මතකයන් සහ සමාජ සන්නිවේදනයන් නිසා මොළයේ ස්නායු ජාල නිරන්තරයෙන් අලුත් වේ. එය ස්නායු ප්ලාස්ටිසිතාව (Neuroplasticity) ලෙස හැඳින්වේ. එනම් අලුත් අත්දැකීම්, ඉගෙනීම් සහ පරිසරයට අනුව මිනිස් මොළයට හැඩගැසීමට, වෙනස් වීමට සහ තමන්වම ප්‍රතිසංස්කරණය කර ගැනීමට ඇති හැකියාවක් තිබේ.

මොළයේ ව්‍යුහය මෙසේ වෙනස් වන විට, ලෝකය දකින ආකාරය සහ විඥානය (ස්වයං-අවබෝධය) ද නිරන්තරයෙන් වෙනස් වෙමින් වර්ධනය වේ. ස්නායු ප්ලාස්ටිසිතාව විඥානය සමඟ ඉතා ගැඹුරින් බද්ධ වී පවතී. ස්නායු ප්ලාස්ටිසිතාව මඟින්, මොළය නව අත්දැකීම්වලට අනුකූලව හැඩගැසෙන අතර, සවිඥානික අවබෝධය පුළුල් කරමින් විඥානයේ අන්තර්ගතය හැඩගස්වයි. මීට අමතරව, විඥානය විසින් ද මොළයේ ස්නායු ප්ලාස්ටිසිතාව කෙරෙහි බලපෑම් එල්ල කරනු ලබයි. විඥානය විසින් ස්නායු ප්ලාස්ටිසිතාවේ හැඩගැසීම් (Neuroplastic adaptations) ඇති කිරීමට මඟ පාදයි.

විඥානයේ ප්‍රථම උපත මීට වසර මිලියන 520-560 කට පමණ පෙර සිදු වූ කේම්බ්‍රියන් පිපිරුම (Cambrian explosion) සමඟ සම්බන්ධ වේ. කේම්බ්‍රියන් පිපිරුම යනු පෘථිවිය මත ජීවයේ ඉතිහාසයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයකි. මෙයට පෙර පෘථිවියේ සිටියේ ඉතා සරල, මොළයක් හෝ ස්නායු පද්ධතියක් නැති ජීවීන් ය. නමුත් මෙම යුගයේදී සතුන්ට ඇස්, කන් වැනි සංවේද ඉන්ද්‍රියයන් සහ මුල්ම වතාවට සරල මොළයක් (Brain) සහ ස්නායු පද්ධතියක් (Nervous system) පරිණාමය විය. කේම්බ්‍රියන් පිපිරුම සමඟින් සංකීර්ණ වන ස්නායු පද්ධතීන් සහ නව සංවේදන හැකියාවන් මතු විය. අවට පරිසරය දෙස බලා තීරණ ගැනීමට ජීවීන්ට හැකියාව ලැබුණි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විඥානයේ හෝ ස්වයං-අවබෝධයේ මුල්ම උපත සිදු වූයේ මෙම අවධියේදී බවයි. මෙම යුගයේදී සත්ව ජීවීන් ශීඝ්‍රයෙන් විවිධාංගීකරණය වීම සහ ප්‍රථම සංකීර්ණ මොළයන් වර්ධනය වීම සිදු වූ අතර, ඒ සමඟම සරල ප්‍රත්‍යාවර්තී හැසිරීම් (Reflexive behaviors) සහ අවට පරිසරයට ප්‍රතිචාර දක්වන අත්දැකීම් සහිත ඒකාබද්ධ අභ්‍යන්තර ලෝකයක් ප්‍රෝටීන දේහයන් තුල බිහි විය.

මිනිසා තුළ විඥානය මුලින්ම ආරම්භ වන්නේ කවදාද? යන්න ඈත අතීතයේ සිටම පවතින ප්‍රශ්නයකි. පර්යේෂණවලින් පෙනී යන්නේ කලල වර්ධන අවධීන්හිදී යම් ආකාරයක විඥානයක් පැවතිය හැකි බවයි. කලලයන් උත්තේජකවලට ප්‍රතිචාර දක්වන බවත්, අවබෝධාත්මක බවේ සලකුණු පෙන්වන බවත් අධ්‍යයනවලින් හෙළි වී ඇත. මානව කලලයන් යම් මූලික මට්ටමක අවබෝධයක් පෙන්නුම් කළද, ඒවා සතුව විඥානය සඳහා වන පූර්ණ ධාරිතාවය නොපවතී. මිනිසුන් තුළ විඥානය මතුවීම රඳා පවතින්නේ පිළිසිඳ ගැනීමෙන් සති 24 කට පමණ පසු තැලමෝ-කෝටික සම්බන්ධතා (Thalamo-cortical connections) මඟින් මස්තිෂ්ක බාහිකය (Cortex) සක්‍රීය වීම මතය. මෙයින් අදහස් කරන්නේ විඥානයේ මතුවීම ගර්භණී කාලයෙන් සති 24 කට පමණ පසුව සිදු වන බවයි.

මනසේ සාරය (Essence) වන්නේ විඥානයයි. විඥානය හැඩගැස්වීමේදී මොළය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර එය මොළයේ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ගෙන් හටගන්නකි. විඥානය යනු සංකීර්ණ ස්නායු ක්‍රියාකාරිත්වයේ සහ සවිඥානික අත්දැකීමක් සඳහා අවශ්‍ය වන ස්නායුක ව්‍යුහයන්ගේ ප්‍රතිඵලයකි. ස්නායු සෛල (Neurons) සහ ඒවායේ සම්බන්ධතාවල පවතින සංකීර්ණ අන්තර්ක්‍රියාව විඥානය ගොඩනැඟීමට උපකාරී වේ. විඥානය සඳහා මොළය සහ එහි පරිවෘත්තීය (Metabolism) ක්‍රියාවලිය වගකියනු ලබයි. මස්තිෂ්ක බාහිකය (Cerebral cortex), තැලමස (Thalamus) සහ මොළයේ කඳේ (Brainstem) කොටස් විඥානය සඳහා තීරණාත්මක ප්‍රදේශ වන අතර සවිඥානික අත්දැකීම නිර්මාණය කිරීම සඳහා ඒවා එක්ව ක්‍රියා කරයි. මස්තිෂ්ක බාහිකය විසින් අවබෝධාත්මක බව, ප්‍රත්‍යාවලෝකනය/ප්‍රත්‍යක්ෂය (Perception), සිතීම සහ මතකය ඇතුළු බොහෝ සවිඥානික කාර්යයන් පාලනය කරනු ලබයි.

තැලමෝ-කෝටික සම්බන්ධතා (Thalamo-cortical Connections) මෙය මිනිස් මොළය ඇතුළත පවතින ප්‍රධාන තොරතුරු සන්නිවේදන මාවතක් (Information highway) ලෙස හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන කොටස් දෙකක් එකිනෙකා සමඟ සම්බන්ධ වේ. තැලමස (Thalamus): මොළයේ මධ්‍යයේ පිහිටි "තැපැල් කාර්යාලය" වැනි කොටසකි. ඇස, කන, සම ආදී ඉන්ද්‍රියයන්ගෙන් එන සියලුම සංවේදන තොරතුරු මුලින්ම ලැබෙන්නේ මෙතැනටයි. කෝටෙක්ස් හෙවත් මස්තිෂ්ක බාහිකය (Cortex), මොළයේ පිටතින්ම ඇති රැලි වැටුණු ස්ථරයයි. සිතීම, තීරණ ගැනීම සහ හැඟීම් දැනීම වැනි උසස් මානසික ක්‍රියා සිදුවන්නේ මෙහිය. ගර්භණී කාලයේ සති 24ක් (මාස 6ක්) වනතුරු මෙම කොටස් දෙක අතර වයර් (ස්නායු සන්නිවේදනය) සම්බන්ධ වී නොමැත. සති 24 දී මෙම තැලමෝ-කෝටික සම්බන්ධතාවය ඇති වූ වහාම, පිටතින් එන තොරතුරු මොළයට තේරුම් ගත හැකි වේ. මිනිස් කලලයකට මුල්ම වරට වේදනාව දැනීම සහ අවදිමත් බව (විඥානය) ඇති වන්නේ මේ නිසාය.

මොළයේ කඳ (Brainstem) යනු මොළයේ පහළම කොටස වන අතර එය සුෂුම්නාව (Spinal cord) සමඟ කෙලින්ම සම්බන්ධ වේ. මෙය විඥානය සඳහා ඉතාම තීරණාත්මකය. විඥානයේ "ස්විචය" (The On/Off Switch): මොළයේ කඳ තුළ Reticular Activating System (RAS) නමින් හැඳින්වෙන ස්නායු ජාලයක් ඇත. පරිගණකයක හෝ විදුලි බුබුලක "ඔන්/ඕෆ් ස්විචය" මෙන් ක්‍රියා කරන්නේ මෙයයි. අපව නින්දෙන් අවදි කරවන්නේ සහ මොළයට සක්‍රිය (Alert) වීමට සංඥා නිකුත් කරන්නේ මෙම ප්‍රදේශයයි. හානියකදී: මස්තිෂ්ක බාහිකය (Cortex) කොතරම් හොඳින් තිබුණත්, මොළයේ කඳට (Brainstem) බරපතළ හානියක් සිදු වුවහොත් පුද්ගලයෙකු සදාකාලිකවම කෝමා (Coma) තත්ත්වයකට පත් වේ. එනම් ඔහුගේ විඥානය ක්‍රියා විරහිත වේ.

අකර්මන්‍ය සවිඥානික තත්ත්වය (Vegetative State) හිසට සිදු වූ දරුණු කම්පනයකින් හෝ මොළයට ඔක්සිජන් නොලැබී යාමෙන් (Strokes/Cardiac arrest) පසුව සමහර රෝගීන් මෙම තත්ත්වයට පත් වේ. මෙහිදී මොළයේ කඳ (Brainstem) නැවත සක්‍රිය කරන බැවින් රෝගියාට අවදිමත් බව (Wakefulness) ලැබේ. එනම් ඔවුන් නින්දෙන් අවදි වන්නාක් මෙන් ඇස් ඇර බලයි, තනිවම හුස්ම ගනියි.. නමුත්, මස්තිෂ්ක බාහිකය ක්‍රියාවිරහිත නිසා ඔවුන්ට අවබෝධාත්මක බව (Awareness) නැත. තමා කවුද කියා හෝ අවට සිටින්නේ කවුද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත (Wakeful unresponsiveness) භාවය තිබේ.

විඥානය සමන්විත වන්නේ අවදිමත් බව (Wakefulness හෝ Arousal) සහ අවබෝධාත්මක බව (Awareness) යන කොටස් වලිනි. එය ලෝකය සහ තමා පිළිබඳව ආත්මීය අත්දැකීමක් (Subjective experience) ලබා දෙයි. පුද්ගලනිෂ්ඨත්වය (Subjectivity), චේතනාන්විතභාවය (Intentionality), ස්වයං-අවබෝධය (Self-awareness) සහ කැමැත්ත/සංකල්පනාව (Will) යනු මිනිසුන් තුළ ඇති විඥානයේ ප්‍රධාන සංරචක වේ.

මනෝවිද්‍යාඥ කාල් ගුස්ටාව් යුන්ග් (Carl Gustav Jung) විශ්වාස කළේ විඥානය අංග හතරකින් සමන්විත වන බවයි: එනම් සිතීම (Thinking), හැඟීම (Feeling), සංවේදනය (Sensing) සහ අන්තර්ඥානය (Intuiting) ය. යුන්ග්ට අනුව, අප බාහිර ලෝකය තේරුම් ගැනීමට සහ විඥානය ක්‍රියාත්මක කිරීමට මෙම ක්‍රම හතර භාවිතා කරයි:

මිනිස් විඥානය පරිණාමයේදී සිදු වූ සංකීර්ණ අන්තර්ක්‍රියාවක් තුළින් ක්‍රමයෙන් පරිණාමය වී ඇති බව විශ්වාස කෙරේ. ස්වභාවික වරණය (Natural selection) සහ පරිණාමීය ක්‍රියාවලීන් තුළින් විඥානය හටගෙන තිබෙන්නට පුළුවන. එය ඉතා මූලික ආදිකල්පිත හෝ ප්‍රාථමික බලපෑම්වල දිගුවක් ලෙස ආරම්භ වන්නට ඇත.

විඥානය බොහෝ දුරට පරිණාමය වී ඇත්තේ ස්නායු පද්ධතියේ පරිණාමයේ කොටසක් වශයෙනි. සම්පූර්ණයෙන්ම වර්ධනය වූ මොළයේ බාහිකයක් (Brain cortex) නිර්මාණය වීමට වසර මිලියන 5කට ආසන්න කාලයක් ගත විය. විඥානය ආරම්භ වූයේ මීට වසර 200,000 කට පමණ පෙර හෝමෝ සේපියන්ස් (Homo sapiens) මානවයා සමඟ බව බවට ප්‍රබල මතයක් තිබේ.

සවිඥානික අත්දැකීම යනු අපගේ ලෝකය පිළිබඳ පුද්ගලික අත්දැකීම ගොඩනංවන හැඟීම්, සංවේදනයන් සහ සිතුවිලි පිළිබඳ පවතින ආත්මීය අවබෝධය (Subjective awareness) සහ ප්‍රත්‍යක්ෂය/වැටහීම (Perception) වේ. විවිධ රසායනික ද්‍රව්‍ය, විද්‍යුත් උත්තේජනයන් සහ සමහර විට මොළයට සිදුවන කම්පන (Brain trauma) මඟින් සවිඥානික අත්දැකීම වෙනස් කළ හැකිය. හිසට සිදුවන තුවාල, ආඝාතය (Strokes), අපස්මාරය/වලිප්පුව (Seizures), ආසාදන මෙන්ම රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය සහ මොළයට රුධිරය ගලායාම ආශ්‍රිත ගැටලු නිසා විඥානය අඩාල විය හැකිය.

මනෝ විද්‍යාඥ විලියම් ජේම්ස් විසින් ඔහුගේ 'Principles of Psychology' (1890) කෘතිය හරහා විඥාන ධාරාව (Stream of Consciousness) යෙදුම හඳුන්වා දුන් අතර, එය මිනිස් චින්තනයේ පවතින අඛණ්ඩ, නිදහස් ගලායාමක ස්වභාවය නිරූපණය කරයි. එය අවදිමත් මනස තුළ පවතින සිතුවිලි සහ අවබෝධයේ නොබිඳුණු ගලායාමයි—එනම් මානසික ක්‍රියාකාරිත්වයේ ගතික ගලායාමයි. විලියම් ජේම්ස් තර්ක කළේ විඥානය නිරන්තරයෙන් වෙනස් වන අතර පරිණාමය වන බවයි. තාර්කික සිතුවිලි, සංවේදනයන්, ප්‍රත්‍යක්ෂයන්, අදහස් සහ හැඟීම් මඟින් මිනිසාගේ සවිඥානික අත්දැකීමේ අන්තර්ගතය නිර්මාණය වේ.

සෑම පුද්ගලයෙකුගේම අභ්‍යන්තර චින්තන ක්‍රියාවලිය ඔවුන්ගේ පුද්ගලික අත්දැකීම්, හැඟීම් සහ දෘෂ්ටිකෝණයන් අනුව හැඩගැසුණු, එකිනෙකට වෙනස් වූ සහ තනි පුද්ගල අනන්‍යතාවයකින් යුක්ත එකකි. සවිඥානික අත්දැකීම යනු නිරන්තරයෙන් වෙනස් වන සුළු (Fluid) දෙයක් වන අතර, එහි ඇති මෙම ගතික ස්වභාවය 'මනස ඒ මේ අත දිවීම' (Mind wandering) වැනි අත්දැකීම් මඟින් මැනවින් පැහැදිලි වේ. ස්මෝල්වුඩ් (Smallwood) නමැති පර්යේෂකයා පෙන්වා දෙන්නේ මනස මෙසේ ඒ මේ අත දිවීම (Daydreaming / සිහින දැකීම) මඟින් විඥානයේ පවතින නම්‍යශීලී සහ ගතික (Dynamic) ස්වභාවය මැනවින් පැහැදිලි වන බවයි. අපගේ විඥානයට වර්තමාන භෞතික පරිසරයෙන් මිදී ක්ෂණිකව තමන්ගේම අභ්‍යන්තර ලෝකයක් මවා ගැනීමට ඇති හැකියාව මෙයින් තහවුරු වේ.

මිනිසා සතුව වඩාත්ම දියුණු සහ පැහැදිලි අධි-ප්‍රජානන (Metacognition) හැකියාවක් තිබේ. මෙය බොහෝ විට හඳුන්වන්නේ "සිතීම පිළිබඳ සිතීම" ලෙසයි. {රීසස් මැකෙක් (Rhesus macaque) වඳුරන්ද​ අධි-ප්‍රජානන හැකියාවක් පෙන්වයි}. අධි-ප්‍රජානනය (Metacognition) සහ විඥානය (Consciousness) යනු එකිනෙකට සම්බන්ධ වූ නමුත් එකිනෙකින් වෙනස් වූ සංකල්ප දෙකකි. අධි-ප්‍රජානනය යනු පුද්ගලයෙකුට තමාගේම සිතීම සහ ප්‍රජානන ක්‍රියාවලීන් (Cognitive processes) පිළිබඳව නැවත හැරී බැලීමට (ප්‍රත්‍යාවලෝකනය කිරීමට) සහ ඒවා පාලනය කිරීමට ඇති හැකියාවයි. එය තමාගේ පුද්ගලික චින්තන ක්‍රියාවලීන් පිළිබඳව පවතින සිතාමතා කරනු ලබන හඳුනාගැනීමක්, අවබෝධයක් සහ පාලනය කිරීමකි. සවිඥානික, චේතනාන්විත ක්‍රියාවලියක් ලෙස අර්ථකථනය කෙරෙන අධි-ප්‍රජානනය, හුදු සරල අවබෝධයෙන් ඔබ්බට යන්නකි. විඥානය විසින් අධි-ප්‍රජානනය සඳහා පදනම සපයන අතර, අධි-ප්‍රජානනය ගොඩනැඟෙන්නේ විඥානය මතය. අධි-ප්‍රජානනය මඟින් විඥාන ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම (පාලනය කිරීම) සිදු කරනු ලබයි.

භෞතික විද්‍යාත්මක නියමයන් හෝ ස්නායු ජීව විද්‍යාව (Neurobiology) පමණක් භාවිතයෙන් විඥානය සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ නොහැක. සමහර ක්වොන්ටම් භෞතික විද්‍යාඥයන් පවසන්නේ විඥානය යනු මොළය තුළ සිදුවන ක්වොන්ටම් ක්‍රියාවලීන්ගේ (Quantum processes) බාහිර ප්‍රකාශනයක් බවයි. ඔවුහු විඥානය පරිගණකමය ක්‍රියාවලියක් (Computational process) ලෙස විස්තර කරති. ජෝර්ජිව් (Georgiev, 2023) ප්‍රකාශ කරන්නේ, මොළයේ බාහික ජාලයන්ගේ (Brain cortical networks) පරිණාමය ජීවීන්ගේ පරිගණකමය බලය, මතක ධාරිතාවය සහ ප්‍රජානන බුද්ධිය (Cognitive intelligence) ඉහළ නැංවීමට දායක වන බවයි. විඥානය පිළිබඳ ක්වොන්ටම් සිද්ධාන්තවලට අනුව, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන සුපිරි පිහිටුම (Superposition) සහ ක්වොන්ටම් වෙලීම (Entanglement) වැනි සංසිද්ධීන්, මොළය විසින් විඥානය ජනනය කරන ආකාරය කෙරෙහි බලපෑමක් ඇති කරයි.

ක්වොන්ටම් වෙලීම (Quantum entanglement) මඟින් සවිඥානික අත්දැකීමේදී මොළයේ විවිධ කොටස් එකිනෙකට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ සිද්ධාන්ත ඉදිරිපත් කරයි. හැමරොෆ් (Hameroff) සහ ඔහුගේ සගයන් (2014) උපකල්පනය කළේ, විඥානය රඳා පවතින්නේ මොළයේ ස්නායු සෛල (Neurons) තුළ ඇති ක්ෂුද්‍ර නාලිකා (Microtubules) එකතුවක් තුළ සිදුවන, ජීව විද්‍යාත්මකව 'සංවිධානය වූ' (Orchestrated) සුසංයෝගී ක්වොන්ටම් ක්‍රියාවලීන් මත බවයි. { ක්ෂුද්‍ර නාලිකා (Microtubules) අපේ මොළයේ ඇති සෑම ස්නායු සෛලයක් (Neuron) ඇතුළතම පවතින ඉතාම කුඩා, නල වැනි ප්‍රෝටීන් ව්‍යුහයන් විශේෂයකි. මේවා සෛලවල සැකිල්ල (Cytoskeleton) ලෙස ක්‍රියා කරයි. මෙම සිද්ධාන්තයට අනුව, විඥානය හටගන්නේ ස්නායු සෛල අතර පිටතින් සිදුවන සන්නිවේදනයෙන් පමණක් නොවේ. මෙම කුඩා ක්ෂුද්‍ර නාලිකා ඇතුළත උප-පරමාණුක මට්ටමින් (Sub-atomic level) සිදුවන ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාවලීන් (Quantum mechanics) හරහා මුළු මොළයම එකවර යා වෙමින් විඥානය ජනනය වන බව ස්ටුවර්ට් හැමරොෆ් (Stuart Hameroff) සහ ප්‍රකට භෞතික විද්‍යාඥ රොජර් පෙන්රෝස් (Roger Penrose) පවසති.}

විඥානය හැඩගැස්වීම කෙරෙහි සංස්කෘතියේ බලපෑම (The Cultural Shaping of Consciousness) අති මහත් ය. මිනිස් ප්‍රත්‍යක්ෂයන් (වැටහීම්) සහ හැසිරීම් කෙරෙහි සංස්කෘතිය ප්‍රබල බලපෑමක් එල්ල කරයි. එමනිසා, මිනිස් විඥානය තුළ සංස්කෘතිය කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇත. පුද්ගලයන් තමන්, අන් අය සහ තමන් වටා ඇති ලෝකය දකින ආකාරය කෙරෙහි බලපෑම් කරමින් සංස්කෘතිය විසින් විඥානය ඉතා ගැඹුරින් හැඩගස්වනු ලබයි. සංස්කෘතික අනන්‍යතාවය සහ උරුමය විසින් ස්නායු-ප්‍රජානන ක්‍රියාවලීන් (Neurocognitive processes) හැඩගස්වනු ලැබේ. සවිඥානික මෙන්ම අවිඥානික ප්‍රතිබිම්බයන් (Images) ද සංස්කෘතික පරිසරය විසින් හැඩගස්වනු ලබයි.

Pérez-Arce (1999) පෙන්වා දෙන්නේ, මොළයේ ස්නායු-ජීව විද්‍යාත්මක (Neurophysiological) තත්ත්වය කුමක් වුව ද, පුද්ගලයෙකුගේ හැසිරීම කෙරෙහි සංස්කෘතික සාධක තීරණාත්මක බලපෑමක් ඇති කරන බවයි. මිනිස් විඥානයේ පරිණාමය පිළිබඳ මනෝවිද්‍යාඥයෙකු වන මර්ලින් ඩොනල්ඩ්ට (Merlin Donald) අනුව, මිනිසා සාමූහික මතක තැන්පතු පද්ධතීන් (Collective storage systems) මත ඉතා ගැඹුරු රඳා පැවැත්මක් වර්ධනය කරගෙන ඇත. මර්ලින් ඩොනල්ඩ් ප්‍රකාශ කරන්නේ විඥානයේ පරිණාමය අදියර කිහිපයක් හරහා ගොස් ඇති බවයි: එනම් කථාංගමය (Episodic), අනුකරණාත්මක (Mimetic), මිත්‍යාමය (Mythic) සහ න්‍යායාත්මක (Theoretic) වශයෙනි. කථාංගමය සිදුවීම් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සහ ස්වයං-අවබෝධය මඟින් 'කථාංගමය විඥානය' (Episodic consciousness) සංලක්ෂිත වේ.

මනෝවිද්‍යාඥ මර්ලින් ඩොනල්ඩ් පෙන්වා දෙන්නේ මිනිස් මනස සහ විඥානය අද පවතින තත්ත්වයට පරිණාමය වූයේ ප්‍රධාන ඓතිහාසික අදියර හතරක් පසු කරමින් බවයි. එනම් කථාංගමය අදියර (Episodic Stage): මෙය මුල්ම සහ සරලම අවධියයි. මෙහිදී සතුන්ට හෝ ප්‍රාථමික මානවයන්ට මතක හිටින්නේ තනි තනි සිදුවීම් හෝ කථාංග (Episodes) පමණි. (උදාහරණයක් ලෙස: "සිංහයෙකු පැමිණි නිසා මා දිව්වා"). ඔවුන්ට අතීතය හෝ අනාගතය ගැන දීර්ඝව සැලසුම් කළ නොහැක. අනුකරණාත්මක අදියර (Mimetic Stage): භාෂාව බිහිවීමට පෙර, මානවයන් ශරීර භාෂාව, අභිනයන් සහ අනුකරණය (Mimicry) මඟින් සන්නිවේදනය කළ අවධියයි. මෙහිදී අන් අය කරන දේ බලා සිට ඉගෙනීමට සහ සමූහයක් ලෙස දඩයම් කිරීමට ඔවුන්ගේ විඥානය දියුණු විය. මිත්‍යාමය අදියර (Mythic Stage): කථන භාෂාව බිහිවීමත් සමඟ මෙම අවධිය ඇරඹුණි. මිනිසුන් තමන් අවට ලෝකය, ස්වභාවික සංසිද්ධි (වැස්ස, හිරු, ගින්න) සහ තමන් කවුද යන්න තේරුම් ගැනීමට මිත්‍යා කථා සහ ජනප්‍රවාද (Myths and Stories) ගොඩනැඟූහ. න්‍යායාත්මක අදියර (Theoretic Stage): මෙය නූතන මිනිසා පසුවන අවධියයි. අකුරු ලිවීම, පොත්පත් සහ පරිගණක වැනි බාහිර මතක තැන්පතු පද්ධතීන් (External storage systems) බිහිවීමත් සමඟ මිනිසා තර්කානුකූලව, විද්‍යාත්මකව සහ න්‍යායාත්මකව සිතීමට හුරු විය.

විඥානය සහ භාෂාව අතර පවතින සබැඳියාව (The Relationship Between Consciousness and Language) මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති. සවිඥානික ධාරිතාවය විසින් සංකේතාත්මක චින්තනය සහ භාෂාව සඳහා ජීව විද්‍යාත්මක පදනම සපයයි. භාෂාවේ වර්ධනයට පෙර සිටම විඥානය පවතී. භාෂාව සහ විඥානය යනු වෙන් වූ ඒකක දෙකක් නොවන අතර, ඒවා ගතික සහ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බලපෑම් කර ගනියි. භාෂාව සිතුවිලි සංවිධානය කිරීමට උපකාරී වේ. භාෂාව විසින් විඥානයේ එක්තරා මානයක් හැඩගස්වනු ලබයි. භාෂාවක් නොමැතිව වුවද විඥානයේ මූලික ආකාර පැවතිය හැකිය; කෙසේ වෙතත්, භාෂාව මඟින් විඥානය හැඩගස්වනු ලබයි. භාෂාව ගොඩනැඟෙන්නේ දැනටමත් පවතින විඥානය මත පදනම්වය.

භාෂාව නැතත් විඥානය පැවතිය හැකිය. උදාහරණයක් ලෙස: කතා කිරීමට නොදන්නා මාස කිහිපයක් වයසැති බිළිඳෙකුට හෝ සතෙකුට වුවද වේදනාව, සතුට, සහ අවට පරිසරය පිළිබඳ සවිඥානික අවබෝධයක් ඇත. නමුත්, භාෂාව මඟින් විඥානය සම්පූර්ණයෙන්ම අලුත් මානයකට රැගෙන යයි: භාෂාව ඉගෙනගත් පසු, අපට අපේ මනස තුළ ඇති අවුල් සහගත සිතුවිලි වචනවලට පෙරළා සංවිධානය කර ගැනීමට හැකියාව ලැබේ. අප සිතන ආකාරය, අපට දැනෙන හැඟීම් විස්තර කරන ආකාරය (උදා: "මට දුකයි" හෝ "මට කලකිරීමක් දැනෙනවා") සහ අප ලෝකය දකින ආකාරය භාෂාව මත පදනම්ව හැඩගැසේ. සරලවම භාෂාව යනු අපගේ විඥානය වඩාත් දියුණු කරන මෙවලමකි.

විඥානයේ අක්‍රමකතා (Disorders of Consciousness) මගින් විඥානය තුල පවත්නා භංගුර (fragile) තත්වයන් පෙනී යයි. විඥානයේ අක්‍රමකතා යනු අවදිමත් බව (Wakefulness) සහ අවබෝධාත්මක බව (Awareness) සැලකිය යුතු ලෙස අඩාල වන රෝගී තත්ත්වයන් වේ. මෙම තත්ත්වයන් මඟින් විඥානය අක්‍රිය හෝ අඩාල කළ හැකිය. මොළයට සිදුවන තුවාල/අනතුරු නිසා විඥානයේ ආබාධ රැසක් ඇති විය හැක. කෝමා (Coma), අකර්මන්‍ය සවිඥානික තත්ත්වය (Vegetative state) සහ අවම සවිඥානික තත්ත්වය (Minimally conscious state) යනු විඥානය ජනනය කිරීමට මොළයට ඇති හැකියාව බිඳ දමන දරුණු මොළයේ අනතුරක ප්‍රතිඵල වේ.

මොළයේ මරණයකදී (Brain death) විඥානයක් නොපවතී (මොළයේ මරණය යනු මොළයේ ක්‍රියාකාරිත්වය ස්ථිරවම, ආපසු හැරවිය නොහැකි ලෙස සහ සම්පූර්ණයෙන්ම නැති වී යාමයි). මොළය මියගිය පුද්ගලයෙකු තමා අවට පරිසරය පිළිබඳව අවබෝධයෙන් පසු නොවන අතර ඊට ප්‍රතිචාර දක්වන්නේ ද නැත. මොළය මියගිය පුද්ගලයෙකු තුළ, සියලුම සවිඥානික ක්‍රියාවලීන් පැවතීම නතර වේ.

පුද්ගලයෙකු සායනික මරණයකට මුහුණ දී බේරුණු විට, ඔවුන් බොහෝ විට ඉතා ගැඹුරු අත්දැකීම් විස්තර කරයි. එනම් දීප්තිමත් උමගක් දැකීම, දැඩි සාමයක් දැනීම හෝ ශරීරයෙන් බැහැර වීමේ සංවේදනයන් (තම භෞතික ශරීරය දෙස ඉහළ සිට බලා සිටීම වැනි) ලැබීමයි. ආධ්‍යාත්මික හෝ ආගමික මතවාදයන්ගෙන් කියවෙන්නේ මෙහිදී ආත්මය හෝ විඥානය ශරීරයෙන් ඉවත් වන බව වුවද, ස්නායු විද්‍යාඥයන් මෙය පැහැදිලි කරන්නේ මොළයට රුධිරය සහ ඔක්සිජන් ගලායාම බරපතළ ලෙස අඩාල වීම (Brain Ischemia) හරහා සිදුවන ක්‍රියාවලියක් ලෙසය: උමගක් වැනි දර්ශනයක් මැවීම (Tunnel Vision) ඇසේ දෘෂ්ටි විතානයට (Retina) සහ මොළයේ දෘශ්‍ය බාහිකයට (Visual cortex) ලැබෙන ඔක්සිජන් මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙන විට, මුලින්ම අන්ධ වන්නේ ඇසේ පර්යන්ත පෙනුමයි (පසෙකින් ඇති දේ නොපෙනී යාමයි). එවිට මැද ඇති පෙනුම පමණක් ඉතිරි වේ. මෙයින් අඳුරු උමගක් තුළින් දීප්තිමත් ආලෝකයක් දෙසට ගමන් කරන්නාක් වැනි මායාවක් (Illusion) මොළය තුළ නිර්මාණය වේ. ශරීරයෙන් බැහැර වීමේ මායාව (Out-of-Body Illusions): ඔක්සිජන් අහිමි වීම නිසා මොළයේ Temporoparietal junction (TPJ) නමැති සන්ධිස්ථානය අක්‍රිය වේ. මෙම ප්‍රදේශය වගකියන්නේ අපගේ භෞතික ශරීරය අවකාශය තුළ පිහිටා ඇත්තේ කොතැනද කියා සංවේදනයන් ඒකාබද්ධ කර අපට වටහා දීමටයි. TPJ කොටස අවුල් වූ විට, මොළයට ශරීරය පවතින තැන නිවැරදිව ගණනය කළ නොහැකි වන අතර, තමා ශරීරයෙන් ඉහළට පාවී යනවා වැනි සැබෑ යැයි සිතෙන භ්‍රාන්තියක් (Hallucination) මවා දෙයි. දැඩි සාමකාමී බවක් දැනීම: මෙවැනි දරුණු කම්පන අවස්ථාවකදී, මොළය විසින් වේදනාව සහ බිය පාලනය කිරීම සඳහා එන්ඩෝෆින් (Endorphins) සහ කෙටමින් (Ketamine) වැනි රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් ශරීරයට මුදාහරියි. එමඟින් රෝගියාට අසිරිමත් සාමයක් සහ සතුටක් දැනේ.

මොළයේ මරණයේදී මස්තිෂ්ක බාහිකය (Cerebrum) සහ මුළු මොළයේ කඳ (Brainstem) ඇතුළුව මොළයේ සියලුම කොටස්වල ක්‍රියාකාරිත්වය ස්ථිරවම සහ ආපසු හැරවිය නොහැකි ලෙස විනාශවී හෝ අකර්මන්‍යව තිබේ. මොළය මියගොස් ඇත. මොළයට රුධිරය ගලායාම සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර මොළයේ පටක සදහටම මියගොස් ඇත. එහි කිසිදු විද්‍යුත් ක්‍රියාකාරිත්වයක් (Zero electrical activity) නැත. මොළයේ මරණයෙන් පසු නැවත ජීව විද්‍යාත්මික මනෝ සාමාජීය වශයෙන් ප්‍රකෘතිමත් වීම සම්පූර්ණයෙන්ම නොකළ හැක්කකි. කෘතිම ශ්වසන යන්ත්‍ර (Ventilator) මඟින් ඔක්සිජන් දෙන තාක් කල් හදවත තාවකාලිකව ක්‍රියාත්මක වන්න​ට පුළුවන. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව සහ නීත්‍යානුකූලව එම පුද්ගලයා මියගොස් අවසන්ය. යන්ත්‍ර ක්‍රියා විරහිත කළ සැනින් ශරීරයේ සියලුම ක්‍රියාකාරකම් ක්ෂණිකව නතර වේ.
කෘතිම බුද්ධිය (AI) සහ මිනිස් විඥානය (Consciousness) අතර පවතින්නේ ඉතාම පැහැදිලි සහ ගැඹුරු වෙනසකි. සරලවම කිවහොත්, AI සතුව ඇත්තේ බුද්ධිය (Intelligence) පමණි; නමුත් මිනිසා සතුව බුද්ධිය මෙන්ම විඥානය (Consciousness) ද පවතී. පරිගණකයකට හෝ AI පද්ධතියකට "ගින්න" යනු කුමක්දැයි විස්තර කිරීමට, එහි උෂ්ණත්වය ගණනය කිරීමට සහ ගින්නෙන් බේරෙන ආකාරය පැවසීමට බුද්ධිය (Intelligence) ඇත. නමුත්, ගින්නකට අත පිච්චුණු විට දැනෙන රිදුම සහ වේදනාව සැබවින්ම විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ විඥානය (Consciousness) ඇති ජීවියෙකුට පමණි. නූතන විද්‍යාඥයන් පවසන්නේ AI කෙතරම් දියුණු වුවත් (Artificial General Intelligence - AGI තත්ත්වයට පැමිණියත්), එයට මිනිසෙකු මෙන් "දැනීම්" සහිත විඥානයක් ලබාගත නොහැකි බවයි. මන්ද, විඥානය සඳහා මොළයේ සජීවී සෛල, පරිවෘත්තීය ක්‍රියාවලීන් සහ ස්නායු ප්ලාස්ටිසිතාව වැනි ජීව විද්‍යාත්මක පදනමක් අත්‍යවශ්‍ය වන බැවිනි.

මොළයෙන් ස්වායත්ත වූ (ස්වාධීන) විඥානයක් පැවතීම යන්න ඉතා තීරණාත්මක ප්‍රශ්නයකි. සමහරුන් තර්ක කර ඇත්තේ භෞතික මොළයෙන් ස්වාධීනව විඥානය පැවතිය හැකි බවයි. මරණාසන්න අත්දැකීම්වලට (Near-death experiences) මුහුණ දුන් රෝගීන්, ශරීරයෙන් බැහැර වීමේ අත්දැකීම් (Out-of-body experiences) කිහිපයක් විස්තර කර ඇත. කෙසේ වෙතත්, මෙම අත්දැකීම් මොළයට රුධිරය ගලායාම අඩාල වීමෙන් (Brain ischemia) පසුව ඇතිවන මායාවන්/භ්‍රාන්ති (Hallucinations) විය හැකිය. විඥානය ශරීරයෙන් පිටත පැවතිය හැකි බව ඔප්පු කිරීම සඳහා ස්ථිරසාර විද්‍යාත්මක සාක්ෂි කිසිවක් නැත. මොළය මියගිය විට (Brain Death), මොළයේ සෛලවල සිදුවන විද්‍යුත් සහ රසායනික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවතී යයි. විද්‍යාවට අනුව මොළයෙන් තොරව විඥානයට තනිව පැවතිය නොහැක. භෞතික ශරීරය සහ මොළය විනාශ වීමත් සමඟ විඥානය ද සම්පූර්ණයෙන්ම නැති වී යන බවත්, එය ශරීරයෙන් බැහැරව වෙනත් තැනකට ගමන් කරන බවට ස්ථිරසාර විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැති බවත් නූතන විද්‍යාවේ මතයයි.

(වෛද්‍ය ස්ටුවර්ට් හැමරොෆ් සහ රොජර් පෙන්රෝස්ගේ Orch-OR සිද්ධාන්තය) ඇසුරින් සමහර පර්යේෂකයන් පවසන්නේ විඥානය යනු මොළයේ සෛල ඇතුළත ඇති ක්ෂුද්‍ර නාලිකා (Microtubules) තුළ පවතින ක්වොන්ටම් තොරතුරු (Quantum information) සමූහයක් බවයි. ශරීරය මියයන විට මෙම ක්වොන්ටම් තොරතුරු විනාශ නොවී, විශ්වය පුරා විසිරී යා හැකි බව (Quantum soul) ඔවුන් උපකල්පනය කරයි. කෙසේ වෙතත්, මෙය තවමත් විද්‍යාත්මකව තහවුරු නොකළ පරීක්ෂණ මට්ටමේ පවතින මතවාදයකි.)


References

Askenasy J & Lehmann J. Consciousness, brain, neuroplasticity. Front Psychol 2013; 10(4):412.

Bagnato,S. (2022) Chapter 26 - The role of plasticity in the recovery of consciousness, Editor(s): Angelo Quartarone, Maria Felice Ghilardi, François Boller, Handbook of Clinical Neurology, Elsevier, Volume 184, 2022, Pages 375-395, ISSN 0072-9752, ISBN 9780128194102.

Changeux J-P, Dehaene S 2008 The neuronal workspace model: conscious processing and learning. In: Menzel R (ed) Learning Theory and Behavior, Vol 1. J Byrne (ed) Learning and Memory: A Comprehensive Reference. Elsevier, Oxford, pp 729–758.

Georgiev DD. Evolution of Consciousness. Life (Basel). 2023 Dec 27;14(1):48. doi: 10.3390/life14010048. PMID: 38255663; PMCID: PMC10817314.

Hameroff S, Penrose R. Consciousness in the universe: a review of the 'Orch OR' theory. Phys Life Rev. 2014 Mar;11(1):39-78. doi: 10.1016/j.plrev.2013.08.002. Epub 2013 Aug 20. PMID: 24070914.

Lagercrantz H. The birth of consciousness. Early Hum Dev. 2009 Oct;85(10 Suppl):S57-8. doi: 10.1016/j.earlhumdev.2009.08.017. Epub 2009 Sep 17. PMID: 19762170.

Lagercrantz H, Changeux JP. The emergence of human consciousness: from fetal to neonatal life. Pediatr Res. 2009 Mar;65(3):255-60. doi: 10.1203/PDR.0b013e3181973b0d. PMID: 19092726.

Padilla N, Lagercrantz H. Making of the mind. Acta Paediatr. 2020 May;109(5):883-892. doi: 10.1111/apa.15167. Epub 2020 Jan 31. PMID: 31922622.

Pérez-Arce, P. (1999). The Influence of Culture on Cognition, Archives of Clinical Neuropsychology, Volume 14, Issue 7, 1999, Pages 581-592.

Smallwood J, Schooler JW. The science of mind wandering: empirically navigating the stream of consciousness. Annu Rev Psychol. 2015 Jan 3;66:487-518. doi: 10.1146/annurev-psych-010814-015331. Epub 2014 Sep 29. PMID: 25293689.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments