Pages

Saturday, June 27, 2026

ඉස්කෝලේ යන කාලේ ෆිල්ම් බලපු හැටි




1979 දී කොලඹ මැජෙස්ටික් තියටර් එකට ලිව් ඇන්ඬ් ලෙට් ඩයි ජේම්ස් බෝන්ඬ් ෆිල්ම් එක ආවා. එතකොට මම 7 පන්තියේ. ඒක බලන්න යන්න ගෙදරින් ඇහුවම කිව්වේ ඒක ලමයින්ට සුදුසු නෑ, කියලා. සල්ලිත් අතේ නෑ. කොහොම හරි ෆිල්ම් එක බලන්නත් ඕනේ. හතර අතේ කල්පනා කලාම දැක්කා තාත්තාගේ රීඩස් ඩයිජස්ට් පොත් සෙට් එක මේ පොත් තාත්තා 1960 ගනන් කාලේ ඉඳන් කලෙක්ට් කරන පොත්. ඒකාලේ පොතක් රුපියල් දෙකක් විතර වෙනවා වැල්ලවත්තේ කේවීජී සිල්වා පොත් කඩයේ . මේ පොත් කඩය තිබ්බේ සෙන්ට් පීටර්ස් එක ලඟ. මම තාත්තාගේ රීඩස් ඩයිජස්ට් පොත් සෙට් එකක් අරගෙන පොත් කඩ කීපයකට ගියා. කවුරුවත් පොත් ගන්නේ නෑ. බම්බලපිටිය හෝලි ෆැමලි එක ඉදිරිපිට තිබ්බා ධර්මදාස පොත් හල. ඒකේ හිටියා මැදි වියේ ඩයල් එකක්. මෑන් රීඩස් ඩයිජස්ට් පොතකට සත 50 ගානේ දුන්නා. ඒ කාලේ ගැලරිය සත 75 , සෙකන්ඬ් ක්ලාස් 2.75. පොත් 10 -12 දුන්නොත් ෆිල්ම් එකත් බලලා ඉන්ටවල් එකට කඩල පැකට් එකකටත් සල්ලි. කොහොම හරි එදා තාත්තාගේ රීඩස් ඩයිජස්ට් පොත් විකුනලා ලිව් ඇන්ඬ් ලෙට් ඩයි ජේම්ස් බෝන්ඬ් ෆිල්ම් එක බැලුවා. මේ අලුත් සොයා ගැනීමෙන් පස්සේ මම කලේ සුමාන 2 සැරයක් තාත්තාගේ රීඩස් ඩයිජස්ට් පොත් සෙට් එකක් ධර්මදාස පොත් හලට ගිහින් දෙනවා එම්පයර් , සැවෝයි , ලිබර්ටි , මැජෙස්ටික් එකේ ෆිල්ම් බලනවා. මේ විදියට බෙන්හර් , ඩර්ටි ඩසන් , බ්ලැක් සන්ඩේ, ඩීප්, බ්‍රිජ් ටූ ෆා, චෑම්ප්, ජෝස්, වයිඩ්ල් ගීස් , ගුඩ්බයි ගර්ල් , පොසිඩන් ඇඩ්වෙන්චර් වගේ ෆිල්ම් බැලුවා.ස්ටාර් වෝස් , සැටඩේ නයිට් ෆීවර්, එන්ටර් ද ඩ්‍රැගන් , පිරානා , (ගෙයිටි එකේ බැලුවා ජිම් බ්‍රවුන් ගේ එස්කේප් ෆ්‍රොම් ඩෙවල්ස් අයිලන්ඬ්) වැල්ලවත්ත කොන්කෝඩ් එකේ බෘස්ලී ගේ බිග් බොස් , ශෝන් කොන්රිගේ තන්ඩබෝල්ට්, එයාර්පෝට් 80, අර්බන් කව් බෝයි, වරක් බෝ ඩෙරික් හිටපු 10 ෆිල්ම් එක බලන්න ගිහින් මැනේජර් මාව එලව ගත්තා ඒක ඇඩලස් ඔන්ලි නිසා. ගෙදර අයියලා මේ ෆිල්ම් ගැන කතා කරන කොට කට පොපියනවා ෆිල්ම් එකේ කෑලි කියන්න. ඒත් කියන්න ගිහින් කේස් එක අසු වෙයි කියලා කට වහගෙන ඉන්නවා.තාත්තා නිතරම පොත් කඩ වලින් රීඩස් ඩයිජස්ට් පොත් ගන්න නිසා මම පොත් උස්සන එක එක පාරටම මාට්ටු උනේ නෑ. තාත්තා තමන් ගන්න පොත් වල පිට කවරේ අත්සනක් දානවා. දවසක් ධර්මදාස පොත් හලෙන් පරණ රීඩස් ඩයිජස්ට් පොත් සෙට් එකක් ගන්න කොට තාත්තගේ අත්සන් තියන පොත් කීපයකුත් තිබිලා. ඒ ගැන පොත් කඩකාරයාගෙන් අහන කොට මෑන් කියලා බේබි නම් ඉඳලා හිටලා පොත් ගේනවා ඒවා කීපයක් නම් සල්ලි දීලා ගත්තා කියලා. වැඩය නෝන්ඩි. මම වරද පාපොච්චාරණය කරලා බලපු ෆිල්ම් ලිස්ට් එක කිව්වා. ඒත් මට පෝරියල් එකක් ලැබුනේ නෑ.

ඔන්න ඔහොමයි අපි ඉස්කෝලේ යන කාලේ ෆිල්ම් බැලුවේ.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments