සේන තෝරදෙනිය ගේ පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කෘතියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සහ ඒ ආශ්‍රිතව බිහි වූ උගතුන් විසින් සාහිත්‍ය කෙරෙහි සිදු කරන ලද බලපෑම විශ්ලේශනය කරයි. පේරාදෙණිය ගොඩ නංවන ලද අයිවර් ජෙනිංස් ගේ සංකල්පය වූයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල බටහිර පන්නයට මුසු වූ ඉහල සමාජයට ගැලපෙන විද්‍යාර්ථියන් බිහි කිරීමය. එසේම ඔහු තුල විදේශ සිසුන් අධ්‍යාපනය සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගෙන්වා ගැනීමේ ප්‍රාග්ඥානයක් ද විය. කෙසේ නමුත් පසු කාලයක රූපා රත්නසීලී පෑන් වධය ( යෝනියට පැනක් ඇතුල් කිරීම) නිසා නේවාසිකාගාරයේ උඩු මහලින් පැන්නාය. කොට කලිසමක් ඇඳගෙන විශ්ව විද්‍යාලයට ගිය වෛද්‍යවරයෙකුට සිසුන් ගේ මැර ප්‍රහාරයකට ලක් වන්නට සිදු විය. වලේ නාට්‍යකදී කිස් එකක් දුන් නළුවාට පහර දීමට සිසුන් උත්සහ කළහ. ජෙනිංස් ගේ බටහිර පන්නයට මුසු වූ ඉහල සමාජයට ගැලපෙන විද්‍යාර්ථියන් බිහි කිරීමේ සිහිනය කෙසේ වතත් පේරාදෙණිය වෙත ගං කබර සංස්කෘතිය ආවේය.
මෙය කලින්ම වටහා ගත් නිසාදෝ ශ්‍රී ලංකාව සංස්කෘතික කාන්තාරයක් බව කීවේය. මෙය ප්‍රකාශය සනාත කරන සාධක පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කෘතියේ 52 දෙවන පිටුවේ සඳහන් වෙයි. ජෙනිග්ස් ගේ පේරාදෙණිය මූලික කර ගත් අන්තර්ජාතික අධ්‍යාපන හබ් එක ක්‍රියාත්මක වූයේ නැත. නමුත් එම සංකල්පය මැලේසියාව සහ නේපාලය ක්‍රියාත්මක කොට විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබා දී ඔවුන් ගේ ආර්ථිකයට විදෙස් විනිමය ලබා ගැනීම සඳහා මං තැනූහ.
පේරාදෙණිය ගුරුකුලය ආරම්භ කිරීම සඳහා මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර මූලික කර්තව්‍යක් කලේය. ඔහු යම් ආධිපත්‍යක් ගොඩ නගා ගනිමින් තමන්ට අවනත වූ ගෝලයන් මෙහෙයවමින් ස්වාධීන ලේඛකයන්ට පහර දුන් බව කතුවරයා පවසයි. මෙය අසත්‍යක් නොවේ. එසේම කතුවරයා එදිරිවීර සරත්චන්ද්‍ර ගේ එතරම් උස මහත නොවූ දේශ ලක්‍ෂණ පිලිබඳ කතා කරයි. සරත්චන්ද්‍ර පිලිබඳ කියවා යෝධ ප්‍රතිරූපයක් සිතින් මවා ගත් සිසු සිසුවියන් ඔහු සියැසින් මුල් වරට දකින විට යම් ආකාරයක බලාපොරොත්තු කඩවීමක් පිලිබඳව සඳහන් කරයි. එදිරිවීර සරත්චන්ද්‍ර තරුණයා සිවිල් සේවයට ඉල්ලුම් කලද ඔහු තුල පරිපාලකයෙකු ගේ පෞරුෂයක් නොතිබූ නිසා ඔහු එම සම්මුඛ පරීක්‍ෂණයෙන් අසමත් වූ බවටද එකල රාවයක් තිබුනේය. කෙසේ නමුත් පේරාදෙණියේ ඔහු තම ලිවීම් , විචාර සහ නාට්‍ය මගින් දැවැන්ත පෞරුෂයක් ගොඩ නගා ගත්තේය.
පේරාදෙණියට මුල් කාලයේ වරප්‍රසාධිත පාසල් වලින් ධනවත් සිසුන් පැමිණි අතර සමහර සිසුන් විශ්ව විද්‍යාලයට ආවේ බෙන්ස් හෝ එම්.ජී රථ වලින් බව පැරණි සිසුන් පවසති. ගොවි කම්කරු පවුල් වලින් ආ සිසුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබූ පහසුකම් සහ ආහාර මෙනුව දැක විමතියට පත් වූ බව කතුවරයා කියයි. ඔවුන් මුල් වරට ඇඳක නිදා ගත්තේ පේරාදෙණිය නේවාසිකාගාරයේදීය. එසේම වතුර මල් වලින් යුත් නාන කාමර , වැසිකිලි පෝච්චි සහ කාමර වල තිබූ ලී බඩු දැක සංස්කෘතික තිගැස්මකට ලක් වූ බව කතුවරයා පවසයි.
මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණි සුචරිත ගම්ලත් එය ආහාර පාන වලින් ගහන සුඛය දනවන අයිතමයන් ගෙන් යුත් ආලකමන්දාවක් ලෙස හැඳින්වූ බව කතුවරයා පෙන්වා දෙයි. එය විමතියකට කරුණක් නොවේ පන්සලක හැදුනු වැඩුනු ළමා සුචරිත ගම්ලත් ගෙන් එවැනි ප්‍රතිචාරයක් ලැබීම ස්වාභාවිකය. තවද ලබන ආත්මයේ මේ කරුමක්කාර ලංකාවේ නොයිපිද සැප පහසුකම් ඇති යුරෝපයේ රටක ඉපදිය යුතු බව ගම්ලතුන් කී බව කතුවරයා සඳහන් කරයි. මෙම ප්‍රකාශය මට විමතිය නොගෙන දේ. මීට දශකයකට පමණ පෙර කැනඩාවේදී මට විරාජ් ප්‍රනාන්දු හමුවූ අතර තම පොතක් සිංහලට පරිවර්තනය කිරීම සඳහා ගම්ලතුන් සමග සිදු කල සංවාදයකදී තමාව කැනඩාවේ ජීවත් වීම සඳහා ගෙන්වා ගන්න බැරිද කියා ගම්ලතුන් තමන් ගෙන් ඇසූ බව විරාජ් ප්‍රනාන්දු මට පැවසීය.
සරත්චන්ද්‍රයන් ලංකාවේ සාහිත්‍ය දැවැන්තයෙක් වූ නමුදු ජපන් බසට පරිවර්තනය කරන ලද ඔහුගේ මළගිය ඇත්තෝ පොතේ පිටපත් 500 හෝ ජපානයේ නොවිකුණු බව මහාචාර්‍ය තදෂි නොගුචි ගේ ප්‍රකාශය කතුවරයා හුවා දක්වයි. මේ අනුව සරත්චන්ද්‍රයන්ට අන්තර්ජාතික ලෝකය අතික්‍රමණය කිරීමට නොහැකි විය. මා විසින් කතුවරයා සමග කල සංවාදයේදී පේරාදෙණියට අනුබද්ධිතව සේවය කල මහාචාර්‍ය ගණනාත ඔබේසේකර සහ පසුකාලීනව ලන්ඩනයේ කිංස් විද්‍යාලයේ සායනික මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා අන්තර්ජාතික ලෝකය අතික්‍රමණය කිරීම පිලිබඳව ඔහු දැරුවේ ඇල් මැරුණු අදහසකි. පේරාදෙණිය විසින් අන්තර්ජාතික ලෝකය දිනූ තම උගතුන් අමතක කලේද ?
ලංකාව කේන්ද්‍ර කොට ජීවත් වන මධ්‍යම පාන්තික උගතුන් බොහෝ දෙනෙකු එන්. ජී.ඕ ව්‍යාපෘති සහ ඩොලර් පිලිබඳව මහත් අභිරුචියෙන් යුතුව කතා කරති. ඩොලර් කියූ විට ඔවුන්ට ආසයි බයයි හැඟීමක් ද ඩොලර් යනු මසුරන් හෝ කහවණු වැනි දෙයක් බවද ඔවුන් ගේ අවිඥාණයේ තිබේ. එසේම ඩොලර් ගැන කතා කිරීමේදී ඔවුන්ට තහනම් ගහේ හැඟීම් ද එති. එසේම සමහරු විශ්වාස කරන්නේ සිංහල බෞද්ධයාට හෝ බුදු දහමට පහර දී ලියන ලිපි වලට ඩොලර් වලින් මුදල් ලැබෙන බවය. අවම වශයෙන් නයිජීරියාවට හෝ ගොස් තිබෙන කතුවරයාද ඒ පසුගාමී අදහස දරණ බව පෙනේ.
වරක් මා මගේ බ්ලොගයෙන් සිංහල බෞද්ධයාට හෝ බුදු දහමට පහර දී ලියන A 4 ප්‍රමාණඒ ලිපියකට ඩොලර් 300 ගෙවන බව සහ අදාල ලිපි එවිය යුතු ඇමරිකාවේ ලිපිනයක් ද සඳහන් කලෙමි. (එම ලිපිනය නිව් යෝක් හි මානසික රෝහලක ලිපිනයකි) මගේ මේ ප්‍රචාරක දැන්වීම ඇතැමෙකු සත්‍ය ලෙසින් සහ ඉතා බැරෑරුම් ලෙස ගෙන එය සත්‍යක් බව සිතූහ. මගේ ව්‍යාජ ප්‍රචාරක දැන්වීම ඔවුන් ගේ පැරනොයිඩ් භීතිකාව උත්සන්න කල බව පෙනුනි. සමහරෙකු මට ප්‍රසිද්ධියේ බැණ වැදුනහ.
කතුවරයා ලේඛක ඩී. බී. කුරුප්පු පිලිබඳ සඳහන් කිරීමේදී ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාසයක මිය ගිය ඩී. බී. කුරුප්පු යැයි සඳහන් කරයි. මෙය මා දකින්නේ බටහිර ලෝකයේ ජීවත් වන ලාංකිකයන් කෙරෙහි යම් අගතියකින් හෝ ඉරිසියාවෙන් ලියන ලද වාක්‍යයක් ලෙසටය.
විශ්‍රාම ගැනීමෙන් පසු බටහිර ලෝකයේ මිනිසුන් බොහෝ දෙනෙකු ජේෂ්ඨ පුරවැසියන් සඳහා වූ Retainment Apartments වෙත යති. ඒ පහසුව සඳහාය. ලේඛක ඩී. බී. කුරුප්පු ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාසයක මිය ගියා යනුවෙන් ලියන විට කිසි දින බටහිර රටක් නොදුටු සිංහල පාඨකයාගේ සිතේ මැවෙන්නේ උපන් රට දමා බටහිර රටකට ගොස් දරු මුණබුරන් හෝ ඟාතීන් නැතිව ඇඳක් මත අවසන් හුස්ම හෙලන වෘධයෙකු ගේ චිත්‍රයකි. ඔවුන් මේ චිත්‍රය අනුගත කරන්නේ ලංකාවේ වැඩිහිටි නිවාස වලටය. මෙය කියවන සිංහල පාඨකයා තුල අනුකම්පාව මෙන්ම උපන් රට දමා ගිය එකාට හොඳ වැඩේ වැනි ක්සෙනෆෝබියා හැඟීමක් ජනිත වෙයි. මෙය මාගේ සිත් ගත් හමර්ටාන් වැනි කෘතියක් ලියූ කතුවරයෙකු ලෙස සේන තෝරදෙනියට නුසුදුසු බව මාගේ හැගීමයි.
පේරාදෙණිය ගුරුකුලයේ මහාචාර්‍ය නන්දසේන රත්නපාල ගේ විචාරයන් ගැන කතුවරයා පෙන්වා දෙයි. මගේ අදහස අනුව මහාචාර්‍ය නන්දසේන රත්නපාල ගේ සමහරක් සිද්ධි අධ්‍යනයන් ( අසූචි කන / මුත්‍රා පෝච්චි ලෙවකන ) ව්‍යාජයන් බවත් ඒවා ඔහු විසින් නිර්මාණය කරන කේස් ස්ටඩීස් බවත් මට සිතේ. මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහතා විවිධ පුද්ගලයන් ගේ අස්වාභාවික චර්‍යාවන් පිළිබඳව සවිස්තරව ලියා තිබේ. එහෙත් මේ චර්‍යාවන් ගේ මූලයන් ගැන මහාචාර්‍ය රත්නපාල දීර්ඝ වශයෙන් කරුණු දක්වා නොමැත්තේ මස්තිෂ්කය සහ ඒ හා බැඳුණු ජීව රසායණික ක්‍රියාදාමය පිළිබඳ එතුමා අධ්‍යනය නොහල නිසා විය හැකිය. සමහර අසාමාන්‍ය චර්‍යා සඳහා මූලය පෙර කර්මය ලෙසට එතුමා පෙන්වා දෙයි. නන්දසේන රත්නපාලයන් පෙන්වා දෙන චර්‍යා සහිත භින්නෝන්මාද රෝගීන් කිහිප දෙනෙකුට මා විසින් ප්‍රතිකාර කොට තිබෙන අතර එවැනි චර්‍යා තිබෙන බව කියමි. එහෙත් ඔහුගේ පොත් වලින් විස්තර කරන සමහර සිද්ධි අධ්‍යනයන් ඔහුගේ ෆැන්ටසීන් වීමේ ප්‍රබල සම්භාවිතාවක් තිබේ.
පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කෘතියේ සරත්චන්ඳ්‍ර , මාර්ටින් වික්‍රමසිංහ ගුණදාස අමරසේකර , කේ ජයතිලක යනාදීන් ගේ කෘතීන් පිලිබඳ සහ ඒ ආශ්‍රිතව සිදුවූ විචාරයන් පිලිබඳව කතුවරයා ඉතා ප්‍රබලව කරුණු ඉදිරිපත් කරයි. දෙන්නම් බැටේ මෙන්ම කසඤං පිට විචාරයන් පිලිබඳ ඔහු පෙන්වා දෙයි. එසේම පේරාදෙණිය ගුරුකුලයට එරෙහි කරන ලද සංවාද සම්මන්ත්‍රණ වලදී දැණුම සහ න්‍යායික දුගී බව නිසා ඒවා ගුටි ගහ ගන්නා ගෝරි බෝරි වලින් ඉවර වූ අයුරු විස්තර කරයි.
බොහිමියානු චින්තනයෙන් යුතුව පොත් ලියූ ගුණදාස අමරසේකර අවසානයේදී සිංහල බෞද්ධ ජාතිවාදයේ පෙර ගමන්කරුවෙකු වූ අයුරු විශ්මයජනකය. පහත දැක්වෙන්නේ මා විසින් ලියූ ලිපියක කොටසකි.
........................... ..................ලංකාව අන්තර්ජාතික සංකෘතික ලෝකයට යා කරන්න ඉහල මධ්‍යම පාන්තික ක්‍රිස්තියානීන් කල සේවය තියෙන්නේ තවමත් සැඟවිලා. ඔවුන් නිසා තමයි ලංකාව Jim Reeves, Elvis, Hank Snow වගේ චරිත ගැන දැන ගන්නේ. එහෙත් ඉහල මධ්‍යම පාන්තික බෞද්ධයන් වූ ගුණදාස අමරසේකර , නලීන් සිල්වා ලංකා සමාජයට බෙදුවේ සංකෘතික පසුගාමීත්වය. ....... ඒ කාලයේ ගුණදාස අමරසේකරගේ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” කියවා සහ සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලිනීගේ විරෝධතා ගී අසා ෆෝම් වූ කොල්ලන් ප්‍රේමදාස සමග ගේම ඉල්ලූහ. ප්‍ර්‍රේමේ මොවුන් ටයර් සෑවල යැවීය. කොල්ලන් ෆෝම් කල ගුණදාස අමරසේකරලාගේ නන්දා මාලිනීලාගේ ලමයි අර කුමන්ත්‍රන්ණකාරී ලංකාවට කෙලවීමට දත කට මැදගෙන සිටින බටහිර රටවල සුවසේ ජීවිතය විඳිති. ටයර්සෑ වල අන්තිම ගමන ගිය කොල්ලන් ගේ දෙමාපියන් තවමත් අතුරුදහන් වූ සිය දරුවන් සොයති.
ලක්බිමේ මිහිරි ෆොන්සේකා ගේ පැණයකට අතුරලියේ රතන දෙන පිලිතුර බලන්න
මිහිරි ෆොන්සේකා : පාඨලි චම්පික රණවක ඔබට හමුවුණේ කොහොමද?
අතුරලියේ රතන : ශිෂ්‍ය ව්‍යාපාරයේදී තමයි ඔහු මට හමුවුණේ. ඒ කාලයේ චිනුවාචිබේගේ අප්‍රිකානු ජාතික විමුක්ති ව්‍යාපාරය ගැන ඔහු උනන්දු වුණා. ගුණදාස අමරසේකර “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” පොත ලීවේ ඔය කාලේ. ඒ පොත ශිෂ්‍යයන්ගේ ‘බයිබලය’ වුණා. තරුණ පරපුරේ ජීවිතයට උත්තේජනයක් දීපු පොතක්. චම්පික ඔය කාරණා ගැන තමයි මා සමග කතා කළේ.
ශිෂ්‍යයන්ගේ ‘බයිබලය වූ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ලියූ සහ ජාතික චින්තනය පිලිබඳ මොරගෑ බටහිට රටවල් වලට හිටු කියා බැන වැදුනු ගුණදාස අමරසේකර සිළුමිණ පුවත් පතේ සුනිල් මිහිඳුකුලට දෙන්නේ මෙවැනි පිලිතුරකි.
සුනිල් මිහිඳුකුල: ඔබේ බිරිඳ කවුද?
ගුණදාස අමරසේකර :චන්ද්‍රා සෙනෙවිරත්න. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ මහාචාර්යවරියක් විදියට කටයුතු කළා.
සුනිල් මිහිඳුකුල:දරුවන්?
ගුණදාස අමරසේකර : එක පුතයි. නම සුමේධ. එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.
(මේ කතාවේ මොරල් එක : කියන්නා මොන බයිලයක් කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. ඔවුන්ගේ දරුවන් නොයන තැන් වලට ඔවුන් අපගේ දරුවන් යැවීමට සෙට් කරති. අප යා යුත්තේ ඔවුන් අපට දෙන ඉලක්ක වලට නොව ඔවුන් තමන් ගේ දරුවන්ට දෙන ඉලක්ක වලටය)........................
පේරාදෙණියේ පරිනාමය ගැන කතා කිරීමේදී අයිවර් ජෙනිංස් යුගය සරත් චන්ද්‍ර යුගය මෙන්ම විජේවීර යුගය පිලිබඳව කතා කල යුතුය. පේරාදෙණිය ගුරුකුලය බිඳ වැටීමට ආසන්න වන විට සරත් විජේසිංහ විසින් දොරවල් ඇර කැඳවා ගන්නා විජේවීර යුගය ඇරඹෙයි. එම කාලය තුල මාස් ශාලාවේ බෝම්බ පිපිරීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 17 සහ 88 කැරලි වලට යොමු වීම සහ නවක වධය පවත්වාගෙන යන පශ්චාත් විජේවීර යුගයන් පිලිබඳ කතා කල යුතුය.
1977 අගෝස්තු මාසයයේ 16 දින එල්විස් ප්‍රෙස්ලි මිය ගිය විට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවියෝ කළු ඇඳගෙන දේශන වලට සහභාගී වූ බව වාර්තා වෙයි. මේ අනුව 1977 කාලය දක්වා ජෙනිංස් ගේ කුල්ටූර් බලපෑම තිබූ බව පෙනී යයි. නමුත් පසුකාලීනම් මේ කුල්ටූර් යුගය ගං කබර යුගයක් දක්වා පරිනාමය වෙයි.
මාගේ පවුලේ සාමාජිකාවක් ඉංග්‍රීසි උපාධියක් හැදෑරීමට 1982 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියාය. ඇය ඉගෙනුම ලැබුවේ කොලඹ සෙන් බ්‍රිජට් කන්‍යාරාමයෙනි. එහෙත් ඇය පේරාදෙණියට පය තබන්නේ සායම් ගිය ගවුමක් සහ කබල් සෙරෙප්පු දෙකක් දමාගෙනය. නවක වධකයන් ඇය ඉගෙනුම ලැබූ පාසල පිලිබඳ ඇසූ විට ඇය පවසන්නේ ඇය කළුබෝවිල විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බවය. උන්මත්තකයන් සහ පර පීඩක කාමයෙන් පෙලෙන්නන් පිරිසක් විසින් ඔබගේ අගනා විශ්ව විද්‍යාල ජීවිතය සොරා ගත් බව මා කීවෙමි. මේ විපරීත සඳහා පේරාදෙණිය ගුරුකුලයේ බලපෑම් තිබුනේද ?
මීට වසර කීපයකට පෙර ලංකාවට ගිය අවස්ථාවක මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියෙමි. රැවුල් වවාගෙන ගජේ ගසන බාටා කෑලි දමාගත් මන්ද පෝෂිත විශ්ව විද්‍යාල පුලන්නන් දුටු විට මට අයිවර් ජෙනිංස් ගේ සිහිනය කොෂ්මාර් හෙවත් රාත්‍රි භීභත්සයක් වූ අයුරු දැක කම්පා වුනෙමි.
පහත දැක්වෙන්නේ මා විසින් ලියූ ලිපියක කොටසකි
......................................වරක් මම ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගියා දේශනයකට. ඒ විශ්ව විද්‍යාලයේ ළමුන් ඉතාම පිලිවෙලට ඇඳුම් ඇඳලා එතන ලස්සන වයිබ් එකක් තිබ්බා. ඒ විශ්ව විද්‍යාලයේ හිටියේ සල්ලිකාරයන් ගේ ළමයි විතරක් නෙවෙයි. ලංකා සමාජයේ සාමාන්‍ය රැකියා කරන මිනිසුන් ගේ ළමුන් පවා හිටියා. මට මතක් උනේ ඇමරිකාවේ / කැනඩාවේ විශ්ව විද්‍යාල. අයිවර් ජෙනිංස් පේරාදෙනිය හැදුවේ කේම්බ්‍රිජ් මොඩ්ල් එකට. ඔහුට අවශ්‍ය උනා උසස් ලෙවල් එකක් එතන maintain කරන්න. නේවාසිකාගාරයේ කෑවේ හැඳි ගෑරැප්පු වලින්. විශේෂ සංස්කෘතික ලෙවල් එකක් මේන්ටේන් කලා. දශක කීපයක් තුල සංස්කෘතික පසුගාමීත්වයක් පේරාදෙනියේ ආවේ කොහොමද ? .........
පේරාදෙණිය යනු ජාතික සම්පතකි. එය වාසිටි පුලන්නන් හෝ සංස්කෘතික වශයෙන් පසුගාමී ගං කබරයන් බිහි කරන කම්හලක් නොවිය යුතුය. එසේම ජෙනිංස් අදහස් කල පරිදි මුදල් ගෙවා විදේශ සිසුන් අධ්‍යාපනය සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගෙන්වා ගෙන පේරාදෙණිය අවම වශයෙන් ආසියාවේ අධ්‍යාපන නාභියක් කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments