Pages

Friday, February 20, 2026

ගොංගාලේගොඩ බණ්ඩාගේ ආයාචනය....

 




1848 දී කැරළිකරුවන් විසින් දඹුල්ලේදී රාජකමට පත්කරගත් ගොන්ගාලේගොඩ බණ්ඩා හෙවත් පෑලියගොඩ ඩේවිඩ් ඉංග්රිසීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු සමාව යදිමින් තම අත් අකුරින්ම ලියූ ලිපියක් ජාතික ලේඛනාගාරයේ ලියවිලි අතර තිබී මා පියා විසින් මහත් සැළකිල්ලෙන් සහ ඉවසීමෙන් පිටපත්කරගනු ලැබ දැන් මා සතුව ඇත. ඉතා අපැහැදිළි අකුරින් සහ අවියත් භාෂාවකින් ලියනු ලැබුවද මේ ලිපිය ඓතිහාසික වශයෙන් බෙහෙවින් වැදගත් ය.
පුරන් අප්පු, කඩහපොල හිමි ඇතුළු විශාල පිරිසක් ඉංග්රිසීන් විසින් අත් අඩංගුවට ගෙන මරා දැමුවද ගොන්ගාලේගොඩ බණ්ඩාට ජීවිත දානය ලැබී කසපහර දී මළක්කාවට පිටුවහල් කිරීමට ඉංග්රිසීන් කටයුතු කරන්නට ඇත්තේ මේ බැගෑපත් ඉල්ලීමද සළකා විය යුතු ය. මේ ලිපිය මඟින් තමන් සමඟ සිටි බොහෝ දෙනෙකු පාවා දී ඇති අතර තම ප්රතිරූපයට නොගැලපෙන තරමට ඉංග්රිසීන් ඉදිරියේ බාල්දුවී ඇති බව පැහැදිළිය.
තමා කැරළිකරුවන්ගේ රජු බව කීමට පැකිළෙන ගොංගාලේගොඩ බණ්ඩා ඒ වෙනුවට තමන්
" පලමුවෙනියා" යැයි රවටනු ලැබූ බව මෙහි සදහන් කොට ඇත.
අප ගොංගාලේගොඩ බණ්ඩා ලෙස හැදින්නුවද තමන් ගොන්ගාලාගොඩ බන්ඩා ලෙස මෙහි ලියා ඇත්තේ එකල එසේ හදුන්වනු ලැබූ නිසා විය හැකිය.
මේ ලිපිය යළි පිටපත් කිරීමේදී බැදි අකුරු වෙනුවට හල් අකුරු යෙදීම, වචන සහ වාක්ය වෙන්කිරීම හැරුණු විට එය ලියා ඇති ආකාරයටම ඉදිරිපත් කිරීමට හැකිතාක් උත්සහ කළෙමි. අකුරු අඩු වූ බව පෙනෙන තැන්වල පමණක් වරහන් තුළ ඒ අකුර හෝ අකුරු යොදනු ලැබ ඇත.
ඒ ලිපියේ ජායාපිටපත ද මේ සමඟ ඉදිරිපත් කරමි.@
"ගොන්ගාලාගොඩ බන්ඩා යන මා විසින් උසාවියේ වැටිලා පෙරලිලා ලක්ෂයක් වර වැධ නමස්කාර කර ඉතා යටහත් බාවයෙන් ෂිපිරින් උසාවියක නඩු විනිච්ච කිරීමට පත් උ කොටුවෙ රජ්ජුරුවන් වහන්සේට මතක්කර සිටින්නේ නම් මම උඩුනුවර ගොන්ගාලගොඩ අපෙ ගෙදර සිට තරහකට අපෙම මය අනඩුකියා කඩුවෙල මාතලෙ සිටිනවා එතන මමද ගු සිටියාය එ හිටිනා අරට බුලර උන්නාසේ විසින් ආධායන් තිස් දෙකක් නියම කලාය කියා නිලතියන අයවල් විසින් දුප්පත් අයට කිය දුන්නාය. එබවට රට හතර දිසා කැරලි උනාය. මාතලෙ මම හිටින අතරට හඟුරන්කෙත ඩිඟිරාල සහ මාතලෙ වෙනත් අයවල් එක්වි බොරු ප්ර පෙරගන් කිය මා ර(ව)ටා දබුල්ලට මා එක්ක ගොස් මම බෑ කියද්දී ලෙනදොර ආරච්චිලද පල්ලේගම ආරච්චිලද ගිරානේගම උන්නාන්සේද ඇලහැර කෝරාලද එම ආරච්චිලද කොටුවේගෙදර මුහන්ධිරමද මාතලෙ වරාපිටියෙ කූනම්මඩුවේ ලේකන් රාලද එම ගම ඇතිපල බන්ඩාද බෝවත්තේ දොලපීල්ලේ කවුරාලද උකුවල කිරිබන්ඩාද එමගම කපුරාලද එමග(ම) රටේරාලද කඩුවෙල තෙරපොල අධිකාරමද එම ගම බඩල් මුහන්ධ්රමද මේල්පිටියේ කෝරාලද වෙනත් මාතලෙ ගම අයවල් කතිකාකර ලෙනදොර ආරච්චිලට රෙධ් තුනක්ද හැට්ටයක්ද ඉසේ බධින්ඩ පට රෙද්දක් ද දී (ග?) ආරච්චිට අන්දවන්ඩ කියා ආරච්චිල රෙධි මට අන්දවා පල්ලක්කියකින් ගෙනත් මා පලමුවෙනියා කියා දබුල්ලේ හිටන් වාරියපොල වත්තට ඔවුන් විසින් මා එක්ක ආවේ හැබෑය දබුල්ලේ පටන් ගොන්ගාවලට එනකන් තියන තැ(පැ?)ල් පොලවල් පුස්සන්ඩ එවයෙ හිටින මිනිසුන් නා(ස්)ති කරන බඩු කො(ල්)ල කන්ඩ මිනිසු හැදුවාය. එශම අකාරන මම උන්ට කරඬ දුන්නේ නැත. ගොන්ගාවලට උන් / ඉ/රි වෙලා ඇවිත් බඩුකොල්ල කෑවාය. මම පස්සෙ එලවන ඇවිත් බඩු කොල්කන්ඩ එපා කියා වේවැල්පහක් පොඩිවෙනකම් උන්ට තැලුවය.නවත්තන්ඩ බැරි නිසා කඩුවකින් දෙන්නාගෙ අතට කෙටුවාය එතන්ධි බිදීපෑවාය. ගෙවල්ද උසාවියද කච්චේරියද මිනිස්ස්සු නාස්තිකරන්ඩ හැධුවාය.ඒ කොයියන් ආකාරයකින්වත් කරන්ඩ උන්ට මම ඉඩ දුන්නේ නැත. නුවර එන්ඩ ඔවුන් විසින් මට කීවය.

මම ඔබලාට කියා දුන්නා කිසිම අනර්ථ කරන්ඩ කොයියන් කෙනෙකුන්ඩවත් එපා කීවාම එකෙකා(?) හැඩ බලා හිතුවක් කල නිසා මම යන්නේ නැත කියා වාරියපොල වත්තට ගියාය. එතෙන්ට මහත්මයෙක් ගෙනත් ඔවුන් විසින් මරන්ඩ හැදුවාය. මම ගලවා මරන්ඩ ඉඩ දුන්නේ නැත. මෙහම අනර්ථ මා විසින් උන්ට කරන්ඩ නුදුන් නිසාත් ඔහුනෙන් තලෙ මිනිසුන්ට කොල්ල කන්ඩ නෙධි මා විසින් වදකල නිසාත් ඔවුන් විසින් මාගෙ පරානේ හානිකර වෙන කෙනෙක් පලමුවෙනි කොට තබා ගන්ඩ කතිකා කරන බව මට ධැනී එතනින් ඔවුන් අත් හැර මම ගියාය මා අත කෙරුනු වරද නන් ඔපමනයයවෙන වරදක් කෙරුනේ නැත නොහොත් තමුන්නාන්සේගෙ පරානෙ මැවුවෙත් මය පරානෙ මැව්වෙත් එක දෙවියන් වහන්සේය. තමුන්නාන්සේ මෙඬ්පෙට දෙවියොය තමුන්නාන්සේගෙ පරානෙත් මයෙ මරානෙත් දෙවියන්වහන්සෙ ලගධි කතාකරගන්නවා ඇත. එනිසා තමුන්නාන්සේ උප්පාද කල දෙවියන්වහන්සෙ නාමෙටද දේසනාවේ නාමෙටද එන්ගලන්තෙ මහිසිකාවුන් වහන්සෙ ගෙ නාමෙටද එකිවුන්නේ(?)නාමෙටද තමුන්නාන්සේලාට ආන්ඩු තියන ශාම රටවල්වල තියන පල්ලිවල නාමෙටද එවය බන පවත්තන පාදිලි උන්නාන්සේලායෙ නාමෙටද කොලබ උතුමානන්වහන්සෙගෙ නාමෙටද තමුන්නාන්සෙගෙ පිය රජ්ජුරුවන්නේ නාමෙටද මවු බිසවුන් වහන්සෙ ගෙ නාමෙටද තමුන්නාන්සෙගෙ නාමෙටද ඉට මට සමාවක් ලැබිලා පිනටම නිදහස් කර අරින්ඩ මා විසින් ඉල්ලා සිටිනවා. මේ හැර ගොන්ගාලාගොඩ මැනික් රාල වන මයෙ මාමායෙන් මුදල් ඇන්න ගොස් මීගොන් උන්ට ගෙනත් දුන්නාය එ මිගොන් සහා ගෙදර බඩුත් ආන්ඩුවට ගෙන ගෙ(ද)ර පිස්සුවාය. ඒවා උන්ට ලැබෙට ඉල්ලා සිටිනවාය
අත්සන/ ගොන්ගාලාගොඩ බන්ඩා.
Copied by : Bandara Manatunga.
Presented by : Anura Manatunga

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments