රෝහල් ඇටෙන්ඩන්ලා කියන්නේ වෙනම ලෝකයක්. අපේ සෞඛ්‍ය සේවයේ සිටි හොඳ සේවයක් කරපු ඇටෙන්ඩන්ලා මෙන්ම ලෝකෝත්තරයෝ මට හමු වෙලා තියනවා. මාතලේ රෝහලේ වික්ටර් , නොයෙල් , , ජයම්පති, කරු ( පසුව විභාග පාස් වී මේල් නර්ස් කෙනෙක් උනා) නියම රෝගී සත්කාර කලා.
මීගමුව රෝහලේ ඇටෙන්ඩන් කෙනෙක් හිටියා රෝගීන් ගෙන් ගාන කපාගෙන අපි ලඟට බේත් ගන්න අර ගෙන එනවා සර් මේ මගේ බාප්පා , මේ මගේ අක්කා , මේ අපේ මල්ලී කිය කිය.
හෙදි උපස්ථායක නිල ඇඳුම් වලිය යන කාලේ මම හිටියේ රාගම රෝහලේ. ඇටෙන්ඩන් කාන්තාවෝ හෙදියෝ වගේ සුදු ගවුමට මාරු උනා ඉස්සර ඇන්දේ සුදු ඔසරිය වගේ එකක්. ඇටෙන්ඩන් කාන්තාවෝ හෙදියෝ වගේ සුදු ගවුම අඳින එකට නර්ස්ලා විරුද්ධ උනා. එක ඇටෙන්ඩන් කෙනෙක් රෝහල් බිත්තියේ ලියලා තිබ්බා ඔබට සිවුර අපට ගවුම කියලා. ඒ හෙදි යූනියන් එක කලේ මුරුත්තෙට්වේ නිසා. මේක මට ඊඑන්ටී විශේසඥ වෛද්‍ය ශාන්ත පෙරේරා මහතා පෙන්නුවා. අපි දෙන්නටම හිනා ගියා. ඒත් නර්ස්ලා දකියි කියලා කටවල් වහ ගත්තා.
තවත් රෑක කුනු වෙන්න බීලා බිත්තියේ මුල්ලක නිදාගෙන හිටියා. ලෙඩ්ඩු බලන්න ආපු පිරිසක් " අන්න මේල් නර්ස් මහත්තය කුනු වෙන්ඩ බීලා දොයි කිව්වා. හේතුව ඇටෙන්ඩන්ලත් මේල් නර්ස් ලා වගේ සුදු දිග කලිසම අඳින්න ගත්ත නිසා.
රෝහල් ඇටෙන්ඩන්ලා කියන්නේ පරිපාලනය විසින් නිසි ලෙස කළමනාකරණය කල යුතු ශ්‍රේණයක්. හොඳට කළමනාකරණය කලොත් අගනා සම්පතක්. වැරදි විදිහට හැඞ්ල් කලොත් විනාශයක්. සමහර දොස්තරලා තමන් ගේ කුනු කොන්තරත් කර ගන්න රෝහල් ඇටෙන්ඩන්ලා යොදාගත් අවස්ථාත් තිබුනා. ඒ වගේම අදක්‍ෂ පරිපාලකයෝ රෝහල් ඇටෙන්ඩන්ලා සහ අනෙකුත් කාර්‍ය මණ්ඩලය අතර ඝට්ටන හදලා ඩිවයිඩ් ඇන්ඬ් රූල් සිස්ටම් එකත් කෙරුවා. තමන් ගේ වාට්ටු වලට නිතර නොඑන චැනල් සේවයේ කාලය ගත කරන සමහර විශේසඥ වෛද්‍යවරු තම තමන් ගේ වාට්ටු වල සිදු වන දේ කේලම් වශයෙන් අසා ගන්න ඇටෙන්ඩන්ලා භාවිත කරපු අවස්ථාත් දුටුවා.
අපි ආපු මුල් කාලේ ඔවුන් ඇන්දේ ඒප්‍රන් එක සහ සුදු සරම. මීගමුවේ , රාගම සහ හලාවත තියටර් ඇටෙන්ඩන්ලා හිටියා නියම ඔලු තිබ්බ කොල්ලෝ. උන් ලඟ මාර කොමන් සෙන්ස් තිබ්බා. දුප්පත්කම නිසා අධ්‍යාපනය ඉහලට කර ගන්න බැරි උන එවුන් . උන්ට ඔපචුනිටි එකක් ලැබුනා නම් උන් ඉහලට ඉගන ගන්නවා. ඒ වගේම රෝහල් වල දැක්කා මාර මානුෂික ගති තිබ්බ ඇටාලා. සමහර නර්ස්ලා කාලි අම්මා වැහිලා ක්‍රෝධයෙන් ක්‍රියා කරන කොට මේ අය මෙත්තාවෙන් රෝගීන් බලා ගත්තා. මාතලේ රෝහලේ වික්ටර්, කොලොන්ගොඩ රෝහලේ ලයනල් වගේ රෝහල් ඇටෙන්ඩන්ලාට හදිසියකට සූචස් දාන්න , කැතීටර් නිවරදිව ඉන්ටර්න් කෙනෙක්ට වඩා හොඳට දාන්න හැකියාව තිබ්බා. සමහර නයිට් ඔන් කෝල් වලදී මේ වගේ ස්කිල් එක තියන ඇටෙන්ඩන්ලා ඉන්න කොට හිතට හයියක් දැනුනා. මීගමුව හලාවත රාගම රෝහල් වල තියටර් ඇටෙන්ඩන්ලා හිටියා රෝගියෙක් ඇරෙස්ට් වෙන කොට අදාල ඉමර්ජන්සි බඩු ලඟට ගෙනල්ල දෙන. දක්‍ෂ මානුෂික ගති තියන ඇටෙන්ඩන්ලා කියන්නේ රෝහලට සම්පතක්.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments