2006 වසරේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ජාතික රෝහලේදී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජීවිතය බේරා දුන් සිදුවීම මෙතෙක් කිසිවෙකු නොඇසූ කතාවකි. මෙම සිදුවීම මට හෙලි කලේ විශ්‍රාමික ශල්‍ය වෛද්‍ය විශේසඥ වෛද්‍ය ගාමිනී ගුණතිලක මහතාය.
2006 වසරේ අප්‍රේල් 25 දින යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා (වර්තමානයේ ෆීල්ඩ් මාෂල්) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළු කරනු ලැබීය. මෙම සිදුවීම ගුවන් විදුලියෙන් ඇසූ ඒ වන විට ජයවර්ධනපුර රෝහලේ වරයා ලෙස කටයුතු කල වෛද්‍ය ගාමිනී ගුණතිලක මහතා වහාම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ශල්‍යාගාරයට පැමිනියේය. ඔහු ශල්‍යාගාරයට පැමිනෙන විට විසඥව සිටි හමුදාපතිවරයා ශල්‍යාගාරයේ ශල්‍ය සයනයක වැතිරී සිටි අතර නිර්වින්දන වෛද්‍යවරයෙක් ඔහුට නිර්වින්දනය ලබා දී තිබුනි. එතරම් අත් දැකීම් නැති කනිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙක් රෝගියාගේ උදර කුහරය විවෘත කරමින් සිටියේය. ජේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු අක්‍රියව ශල්‍යකර්මය නරඹමින් සිටියා මිස ක්‍රියාශීලීව දායක වූයේ නැත.
බෝම්බ ප්‍රහාරය නිසා ජෙනරාල් සරත් ෆොන්සේකාට බහු විධ තුවාල ඇතිවී තිබුණි. ඔහුගේ පෙනහැල්ලක් තුවාලව ලේ ගලමින් hemothorax තත්වය වර්ධනය වෙමින් තිබුනි. එසේම මහ බඩවැල , කුඩා බඩවැල, ප්ලීහාව , අක්මාව , අග්න්‍යාශය වැනි ඉන්ද්‍රීන් තුවාලව තිබුනේය. රෝගියාගේ තත්වය ඉතා බරපතල විය. යුද හමුදාපතිවරයාගේ ජීවිතය තිබුනේ දැඩි අනතුරේය.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය සරත් කොල්ලූරේ, වෛද්‍ය ජයසේකර ,වෛද්‍ය ලියනාරච්චි ,වෛද්‍ය ලාල් සිල්වා ඇතුලු තවත් විශේසඥ ශල්‍ය වෛද්‍යවරු සිටි නමුදු යුද අවස්ථා වලදී ලක් වන බහු විධ බරපතල තුවාල ලත් රෝගියෙකු ශල්‍යකර්මයට ලක් කිරීමට ඔවුනට එතරම් අත් දැකීම් තිබුනේ නැත. ඒ වන විට ලංකාවේ යුද අවස්ථා වලදී ලක් වන බහු විධ බරපතල තුවාල ලත් රෝගීන් ශල්‍යකර්ම වලට ලක් කිරීම සඳහා බහුල අත්දැකීම් තිබූ ශල්‍ය වෛද්‍යවරයා වූයේ වෛද්‍ය ගාමිනී ගුණතිලක මහතාය. ඔහු වසර ගනනාවක් යුද හමුදාවේ බහු විධ තුවාල වලට ලක් වූ සොල්දාදුවන් සහ නිලධරයන්ව ශල්‍ය කර්ම වලට ලක් කොට ඔවුන් ගේ ජීවිත බේරා ගෙන තිබුණි.
වෛද්‍ය ගාමිනී ගුණතිලක ශල්‍යාගාරයට යන විට ජේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමක් සිටියද කිසිවෙකු ශල්‍යකර්මයට අත ගැසීමට ඉදිරිපත් වූයේ නැත. මෙය වී.අයි.පී රෝගියෙකු ආ විට සිදුවන සුලබ තත්වයකි. රෝගියා ගේ වැදගත් තනතුර නිසා කිසිවෙකු වගකීම ගැනීමට ඉදිරිපත් නොවේ. මෙය Diffusion of responsibility ලෙස හැඳින්වේ. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි වෙඩි පහරකට ලක්ව රෝහලට ගෙන ආ අවස්ථාවේදී වෛද්‍යවරු එක්තරා ආකාරයක තිගැස්මකට ලක්ව රෝගියා සබැඳිව වගකීම ගැනීමට වහා ඉදිරිපත් නොවීය. මෙම තත්වය රෝගියාගේ ජීවිතය අවධානමේ හෙළයි.
රැස් වූ ජේෂ්ඨ ශල්‍ය විශේසඥයන් රෝගියා අභියස අක්‍රියව සිටිනු දැක වෛද්‍ය ගාමිනී ගුණතිලක උස් හඞින් " මේ ඉන්නේ ලංකාවේ යුද හමුදාවේ යුද හමුදාපති ඔහුගේ ජීවිතය අණතුරේ වහාම ක්‍රියාත්මක වන්න " කියා මහ හඞින් කියමින් අභ්‍යන්තර ඉන්ඳ්‍රියන් ගනනාවක් තුවාලව තිබූ ජෙනරාල් ෆොන්සේකාගේ ශල්‍ය කර්මයට අත ගැසීය. . නමුත් මෙහිදී එක් නෛතික ගැටළුවක් විය. වෛද්‍ය ගාමිනී ගුණතිලක කොලඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේසඥවරයා නොවීය. ඔහු එවකට සේවය කලේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේය. යම් ලෙසකින් රෝගියා මිය ගිය හොත් වගකීම සහ නීති ගැටළු ඔහුට මතු වන්නේය. එසේම මෙය බොහෝ කොන්ස්පිරසි කතා වලට හේතු පාදක වන්නේය. ඔහුගේ වෘත්තීය ජීවිතයටද ඉන් බලවත් හාණියක් වන්නේය. මේ අවදානම් නොතකා කනිෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු සමග වෛද්‍ය ගාමිනී ගුණතිලක ජෙනරාල් ෆොන්සේකාව ශල්‍ය කර්මයට භාජනය කරමින් තුවාල වී තිබූ ඔහුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් මසන්නට විය.
වෛද්‍ය ගාමිනී ගුණතිලක මුල්ම ප්‍රවේශය ගත් වහාම අනෙකුත් වෛද්‍යවරු වහ වහා ශල්‍යකර්මයට සහාය දුන්නෝය. මෙලෙස ශල්‍යකර්මය ආරම්භ කොට ජෙනරාල් ෆොන්සේකාගේ ජීවිතයට තිබූ දැඩි අවදානම අවම කර ගැනීමට වෛද්‍ය ගාමිනී ගුණතිලකට හැකි විය. එහෙත් සිදු වූයේ අනපේක්‍ෂිත දෙයකි. එදින ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ශල්‍යාගාරයේ සේවයට නියමිතව සිටි ( on call ) ශල්‍ය වෛද්‍යවරයා කෝපයෙන් යුතුව ශල්‍යාගාරයට පැමින වෛද්‍ය ගාමිනී ගුණතිලකට පහත් අන්දමට බැණ වදින්නට විය. මෙම වෛද්‍යවරයා විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු (Orthopedic Surgeon) වූ අතර යුදමය තත්වයන් යටතේ ඇති වන බහු විධ තුවාල වලට ලක්වී අභ්‍යන්තර ඉන්ද්‍රියන් හාණි වූ රෝගීන් ශල්‍ය කර්ම වලට ලක් කිරීමට අත් දැකීම් තිබුනේ නැත. කෙසේ වතත් නිල වශයෙන් එදින ශල්‍යාගාරය තිබුනේ ඔහු යටතේය. මෙය තමන්ට වූ මදිකමක් ලෙස ඔහු දකින්ට ඇත. මෙම විකලාංග ශල්‍ය වෛද්‍යවරයාගේ බැනීම් අසමින් වෛද්‍ය ගාමිනී ගුණතිලක ජෙනරාල් ෆොන්සේකාගේ ජීවිත අවධානම පහල දමනු ලැබීය. එහෙත් ඔහුට ශල්‍යකර්මය නිම කිරීමට නොදී විකලාංග ශල්‍ය වෛද්‍යවරයා get out කියමින් වෛද්‍ය ගාමිනී ගුණතිලකව ශල්‍යාගාරයෙන් දොට්ට දැමීය.
කෙසේ නමුත් කිසිදු නෛතික ගැටළු සහ අවධානම් නොතකමින් අපහාස විඳිමින් යුද හමුදාපතිවරයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම පිලිබඳව වෛද්‍ය ගාමිනී ගුණතිලක අද දිනයේ සතුටු වෙයි. ජෙනරාල් ෆොන්සේකාගේ ජීවිතය බේරා ගැනීම මගින් වෛද්‍ය ගාමිනී ගුණතිලක ඊලාම් යුද්ධයේ ඉතිහාසය වෙනස් කිරීමට දායක විය. වසර 19 කට පසු ඔහු කිසිවෙකු නොදත් ඉතිහාසය වෛද්‍ය ගාමිනී ගුණතිලක හෙළි කිරීම මගින් එදින සිදු වූයේ කුමක් ද යන්න ජනතාව දැන ගනු ඇත. මෙම සිදු වීමේ අනෙක් උත්ප්‍රාසය නම් මෙම සිදුවීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවා නොදන්නා බව නොඅනුමානය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments