Sunday, August 7, 2016

A new Book on Literature and Psychology


A new Book on Literature and Psychology by Dr Ruwan M Jayatunge 



Foreword - Between Literature and Psychology


Dr. Ruwan M Jayatunge, a Sri Lankan clinician, has written an extraordinary book linking the Western literary canon (Shakespeare, Dante, Goethe, and Tolstoy among others) with psychiatry, showing how great writers are able to portray psychopathology with unique depths of understanding. More importantly, Dr. Jayatunge introduces Western readers to five Sri Lankan writers, Cumaratunga, Wicramasinghe, Jayathilaka, Navagattegama, and Wediwardena whose grasp of the psychology of human nature is unparalleled. This book should become standard reading in clinical psychology and related mental health disciplines.

Professor Mary V. Seeman OC MDCM FRCPC DSc. 
Professor Emerita   
Department of Psychiatry University of Toronto 

Saturday, August 6, 2016

Between Literature and Psychology - මාර්ටින් වික්‍රමසිංහ , කේ ජයතිලක , සයිමන් නවගත්තේගම හා වෙඩිවර්ධන යන සිංහල ලේඛකයන් ගේ නිර්මාණ බටහිර ලෝකයේ පාඨකයන්ට හඳුන්වාදීමට ගත් වෑයමක්

මෙම කෘතිය ඩන්ටේ , ලියෝ තොල්ස්තෝයි , ඔස්කා වයිල්ඩ් ගේ සිට මාර්ටින් වික්‍රමසිංහ , සයිමන් නවගත්තේගම​, මංජුල වෙඩිවර්ධන යන සිංහල ලේඛකයන් ගේ කෘති වල මනෝ විද්‍යාත්මක විශ්ලේශනයක් අන්තර්ගතය​. මේ පොත සිංහල ලේඛකයන් සහ ඔවුන් ගේ කෘති විශ්ව සාහිත්‍යට හඳුන්වා දීමට ගත් උත්සහයකි. මෙම පොතට පෙරවදන ලියා තිබෙන්නේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය මේරි සීමන් විසිනි.

 

Foreword - Between Literature and Psychology

Dr. Ruwan M Jayatunge, a Sri Lankan clinician, has written an extraordinary book linking the Western literary canon (Shakespeare, Dante, Goethe, and Tolstoy among others) with psychiatry, showing how great writers are able to portray psychopathology with unique depths of understanding. More importantly, Dr. Jayatunge introduces Western readers to five Sri Lankan writers, Cumaratunga, Wicramasinghe, Jayathilaka, Navagattegama, and Wediwardena whose grasp of the psychology of human nature is unparalleled. This book should become standard reading in clinical psychology and related mental health disciplines.

Professor Mary V. Seeman OC MDCM FRCPC DSc. 
Professor Emerita   
Department of Psychiatry University of Toronto 

  

Friday, August 5, 2016

සිංහල බෞද්ධ පාසල

 




මා ඉගෙනුම ලැබුවේ සිංහල බෞද්ධ පාසලකය​. අපගේ පාසලේ ද්‍රවිඩ හෝ මුස්ලිම් සිසුන් කිහිප පෙනෙකුවත් සිටි බවක් මට මතක නැත​. අප උසස් පෙළ පන්ති වල සිටියදී නම් කලම්බෝ චෙට්ටි කියා ජන වාර්ගිකව හඳුන්වන සිසුවෙකු අළුතින් උසස් පෙළ ඉගෙන ගැනීමට නාලන්දාවට ආ බව  නම් මතකය​. 

ආනන්ද මහා විද්‍යාලයේ සිටි මගේ මිතුරන් අතර මුස්ලිම් සිසුවෙකු විය​. ඔහු ඉතා හොඳ මිත්‍රයෙකි. පසුව ඉහල අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය​.

 සිංහල බෞද්ධ පාසලක මම ඉගෙනුම ලැබුවද මා කුඩා කාලයේ සිටම හැදී වැඩුනේ බහු වාර්ගික පරිසරයක​. එම නිසා මා තුල වාර්ගික අගතීන් වර්ධනය වීම සාපේක්‍ෂව අඩු විය​. මේ හැර මගේ පියාට සෑම ජාතියකම මිතුරන් සිටියේය​. මොවුන් අතරින් ස්කන්ධරාජා අංකල් (ද්‍රවිඩ) , කලීල්  අංකල් සහ අකිල් මොහොමඩ් අංකල් (මුස්ලිම්) , බදූර් අංකල් (බෝරා) , ජසීම් අංකල් (මැලේ), ඇලෙක් රොබට්සන් මහතා ( බර්ගර්) මට මතකය​. ඔවුන් මගේ පියාට මෙන්ම අපගේ පවුලේ සාමාජිකයන්ටද හිතවත් වූහ​. මේ මිතුරුදම් මගේ පියා මිය යන තෙක් පැවති අතර මේ අංකල්ලා බොහෝ දෙනෙකුද අද ජීවතුන් අතර නැත​. 

1983 කළු ජූලියේදී ස්කන්ධරාජා අංකල් ගේ වැල්ලවත්ත නිවස පුච්චනු ලැබීය​. මේ නිසා මගේ පියා බොහෝ සෙයින් කම්පා විය​. ස්කන්ධරාජා අංකල් පසුව යාපනයේ ඔහුගේ ගමට ගියේය​. ඉන් වසර දෙකකට පමණ පසු හදිසි අණතුරක් නිසා ඔහු මිය ගියේය​. 

අපගේ අසල්වැසි ළමුන් සමග අප සෙල්ලම් කලෙමු. එසේම රන්ඩුද කලෙමු. රන්ඩු වලදී සමහර විට වාර්ගික අගතීන් ද ඉස්මතු විය​. එහෙත් පොදුවේ රන්ඩු වෙමින් යාළු වෙමින් එකට සෙල්ලම් කරමින් කුඩා කාලයේ සිට අප එකට වැඩුනි. 

මේ මිතුරන් අතර තම්බි හෙවත් ලිංගම් මට මතකය​. තම්බි අපට දෙමලෙන් බනින හැටි ඉගැන්වීය​. පන්දු කල්ලන් ( බෝල හොරා) ඇනප්පි නෑරුම් යන ද්‍රවිඩ වචන මා ඉගන ගත්තේ තම්බි මගිනි. එසේම ද්‍රවිඩ ජාතික ළමුන් වූ රාජන් සහ කුමාරන් සමග අප ක්‍රිකට් ගැසුවෙමු. කුමාරන් ඉතා සන්සුන් අයෙකි. එහෙත් රාජන් ගෝරිකාරයෙකි. මම රාජන් සමග ගුටි බැට හුවමාරු කරගෙනද තිබේ. සිංහල කාන්තාවක් විවහා කරගත් කුමාරන් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. 

ක්‍රිස්තියානි ද්‍රවිඩයෙකු වූ ජෙරමි නත්තලට ඔහුගේ නිවසේ තිබෙන සාදයට වරක් අපට ආරාධනා කලේය​. අප කොල්ලන් රොත්තම ජෙරමි ගේ නිවසට ගොස් කේක් කා පළතුරු යුෂ බිව්වෙමු.  ජෙරමි වර්තමානයේ කැල්ගරි හි ජීවත් වේ. 

මුස්ලිම් ජාතික ළමයෙකු වූ අන්වර් අප සමග ක්‍රිකට් ගැසීමට ආවේය​. ඔහු අරුම පුදුම කතා කියන්නෙකි. වරක් වෑන් දෙකක් එකට හැප්පීම නිසා තට්ටු තුනේ ගොඩනැගිල්ලක් කඩා වැටුණු බව කීවේය​. අප දෙනෙත් ලොකු කරගෙන අන්වර් ගේ කතාව අසා සිටියෙමු. අන්වර්ලා මුස්ලිම් වූවද සිත්තර පත්තරය බලති. අප ඉරිදා සවස සිත්තර පත්තරය අන්වර්ලා ගෙන් ඉල්ලාගෙන සඳුදා සවස ගෙන ගොස් දෙන්නෙමු. 1997 වසරේදී මට බම්බලපිටිය චෙෆ් ලංකා අවන්හලේදී අන්වර් ව හමු විය​. අප ඉතා ලෙන්ගතුව අපගේ ළමා කාලය ගැන කතා කලෙමු. 

මැලේ ජාතික  ඩිල්‍ෂාන් සහ රෙන්සා  අප සමග ක්‍රිකට් මෙන්ම හොරා පොලිස් ක්‍රීඩාවද කලෝය​. ඔවුන් උත්සව සමයේ අපට වටලප්පම් ගෙනාවෝය​. එසේම මැලේ හරුප අපට උගන්වා ඔවුන් ගේ පියා ගෙන් පටි පාර කෑවෝය​. 

ඩිල්‍ෂාන් සහ රෙන්සා අයියා මලෝ අපට ඉගැන්වූ මැලේ හරුපයක් නම් ; ලුප්පේ මූකේ සෙප්පේ පන්තක්කේ ආඩාය​. මෙහි තේරුම උඹගේ මූණ මගේ පශ්චාත් පෙදෙස වගේ යන්නයි. ඩිල්‍ෂාන් සහ රෙන්සා අපට ඉගැන්වූ මැලේ වචන අප හොරා පොලිස් සෙල්ලම කරද්දී කියා කෑගැසුවෙමු. එය ඇසුණු ඔවුන් ගේ පියා ඩිල්‍ෂාන්ට සහ රෙන්සාට තරවටු කොට නිවසට කතා කර පටි පාර දුන්නේය​. එහෙත් අප ලුප්පේ මූකේ සෙප්පේ පන්තක්කේ ආඩා වචනය කීම අත් නොහැරියෙමු.  

මුස්ලිම් පිරිමි ළමුන් සුන්නත් කිරීම ගැන අප දැනගත්තේ මේ මුස්ලිම් මිතුරන් ගෙනි. ඩිල්‍ෂාන් සහ රෙන්සා සුන්නත් කිරීමෙන් පසු ඔවුන්ව දකින කොල්ලන් කවට ලෙසින් ටිප් කට් කියති. පසු කාලයක ඩිල්‍ෂාන් සහ රෙන්සා ඕස්ට්‍රේලියාවට ගියෝය​. 

අපගේ නේබර්හුඩ් එකේ ලන්සි ළමුන් ද සිටියහ​. රොහාන් , යොහාන් යනාදී වශයෙන් නම් වලින් යුතු ෆ්රුට්නික්ලා ලන්සි වූහ​. ඔවුන් අප සමග තරඟයට ක්‍රිකට් ගැසීමට ආහ​. එසේප අප ඔවුන් සමග රණ්ඩුද කලෙමු. වරක් මා සමග ගෝරියට   රොහාන්ට මම පහර දුන්නෙමි.   ඉන්පසු ඔහු තම සොහොයුරු කැළ සමග ආවේය​. මම පැන දිව්වෙමි. ඉන්පසු මේ ගැටුම සමථයකට පත් විය​. 
 

ඒ කාලයේ අප තෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාළයේ කොනේ තිබූ ඔවුන් ගේ නිවසේ වීදුරු වලට ගල් ගැසුවෙමු. අප ඉලක්ක ගැනීමට පුරුදු වූයේ ෆ්‍ රුට්නික්ලා ගේ ජනෙල් කැඩීමෙනි. වරක් ජෙරමි ෆ්රුට්නික්ලා ගේ ජනේලයක් කැඩී යන ලෙස ගලක් ගලක් ගැසීය​. ජනේලය ස්ලං ගා කැඩී යාමත් සමගම අපි කොල්ලන් බුරුත්ත වහා දිව ගොස් සැඟවූයෙමු.

1993 මම කළුබෝවිල රෝහලේ  සේවයේ සිටින විට ඔවුන් ගේ පියා ප්‍රතිකාර සඳහා ආවේය​. මම  ජ්‍යෙෂ්ඨ ෆ්රුට්නික්ට උපකාර කලෙමි. 

ලන්සි ළමයින් වූ රසල් ,ටිරෝන් , සිරිල් යනාදීන් සමග අප සමහර විට කටුස්සන් මරා බැනුම් ඇසුවෙමු. වරක් මම ලන්සි ළමයින් සමග උණම්බුව ආන්ටීගේ වත්තේ කටුස්සන් අල්ලද්දි  උණම්බුව  ආන්ටී " ඔය මිසිස් ජයතුංගේ පුතා නේද ? ඔය ළමයා දහම් පාසල් යනවා නේද ඇයි මේ පව් වැඩ කරන්නේ කියා මට කෑගැසුවාය​. එහෙත් ඇය ලන්සි ළමුන්ට කිසිවක් නොකීම මට විමතිය ගෙන ආවේය​. 

ලන්සි ළමයින් ලඟ ටින් ටින් පොත් කොමික්ස් පොත් තිබූ නිසා අප ඒවා ඔවුන් සමග මාරු කරගෙන බැලුවෙමු. නත්තල් කාලයට අප ඔවුන් සමග එක් වී රතිඤඥා පත්තු කලෙමු. එසේම මුඩුම ගති තිබූ අසල්වාසීන් ගේ නිවෙස් වල දොරවල් වලට රතිඤඥාවක් සෙලෝ ටේප් මගින් අලවා එය පත්තු කොට දොරට තට්ටු කොට දිව්වෙමු. එසේත් නැතහොත් අහස් කූරක අගට හඳුන්කූරක් සම්බන්ධ කොට හඳුන්කූර පත්තු කොට අහස් කූර අදාල අසල්වැසි නිවසේ ජනේලයකට එල්ල කොට මාරු වූයෙමු. අහස් කූර විනාඩි විස්සකට පසුව පියාඹගෙන නිවස අස්සට යයි. ඒ වන විට කොළු ත්‍රස්තවාදීන් තම තම නිවෙස් වල ඇඳන් උඩ ගුලිවී නිදති. 

ලන්සි ළමයි අප සමග කතා කලේ ඉංග්‍රීසි බසිනි මේ නිසා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි බස අපගේ සවන් වලට වැටුනි. ඔවුන් කතා කලේ දැට්  බගර්  දිස් බගර් කියාය​. වරක් මම  බගර්  වචනය නිවසේදී කීම නිසා පියා මගේ කණ මිරිකීය​. 

සිංහල බෞද්ධ පාසලක ඉගෙනුම ලැබුවද මට බහු වාර්ගික සංස්කෘතීන් සමග මුහු වීමට කුඩා කාලයේ සිට අවකාශ ලැබුනි. අපගේ පාසල් ක්‍රමය බහු වාර්ගික සංස්කෘතීන් වෙනුවට අන‍්‍රග්‍රහ දෙන්නේ ඒක වර්ගික සංස්කෘතියකටය​. උදාහරණ ලෙස සිංහල , පාසල , මුස්ලිම් පාසල , දෙමල පාසල ලෙස වාර්ගිකව වෙන් කරන ලද පාසල් වල ඉගෙන ගන්නා ළමුන් උස් මහත් වී සමාජයේදී එකිනෙකා හමු වූ විට මරාගනිති. 

මුස්ලිම් හෝ ද්‍රවිඩ විරෝධී බව ලේ වලට කා වැදී තිබෙන මගේ සමහර මිතුරන් කුඩා කාලයේ සිට හැදී වැඩී ඇත්තේ සිංහල  වටපිටාවක බව මට පෙනී ගොස් තිබේ.  එසේම තනිකර මුස්ලිම් හෝ ද්‍රවිඩ පරිසර වල අනෙකුත් ජාතීන් සමග මුහු නොවී වැඩෙන ළමුන් තුල වාර්ගික අගතීන් පහසුවෙන් රෝපණය කල හැක. මලිනී ජෙයකුමාරන් හෙවත් තමලිනී තම ස්වයං ආත්ම කථනය වූ "තියුණු අසිපතක සෙවණැල්ල යට" කෘතියෙන් ද මෙම කරුණ පෙන්වා දෙන්නීය.  

වාර්ගිකව ආගමිකව ළමුන් වෙන් නොකොට බහු වාර්ගික පරිසරයක ළමුන්ට ඉගෙන ගැනීමට සලස්වන්නේ නම් අනාගත ලේ ගලා යාම් වැලැක්විය හැකි බව මට සිතේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, August 3, 2016

මෙක්සිකෝ වෙත​



සැන්ඩියේගෝ වෙත පැමිනි මම මෙක්සිකෝව දක්වා ගියෙමි. මෙක්සිකෝවට ඇතුළු වීමේදී කිසිම රේගු පරික්‍ෂාවක් නොවීය​. අප මෙක්සිකෝවේ එන්සිනාඩා දක්වා ගියෙමු. එන්සිනාඩා යනු මෙක්සිකෝවේ වෙරලාසන්න නගරයකි. ඉතා අලංකාර වූ සංචාරකයන් රැසක් පැමිනෙන්නාවූ මෙම නගරයේදී ඉතා සුවිසල් මෙක්සිකෝවේ කොඩියක් මම දුටුවෙමි. මෙම කොඩිය විශාල ප්‍රමානයේ ට්ක් රථ දහයක්  පමණ ආවරනය කිරීමේ වපසරියකින් යුක්තය​.  

එන්සිනාඩා හිදී අප දිවා ආහාරය ගැනීමට දැකුම්කළු සංචාරක හෝටලයකට ගියෙමු. මෙක්සිකානු ගිටාරයක් වයමින්  ලොකු තොප්පියක් පැලඳ සිටි පුද්ගලයෙකු මට නමස්තේ කීවේ මා ඉන්දියානුවෙක් බව සිතා විය යුතුය​.  

හෝටලයේ විශාල ටැංකියක් තිබූ අතර එහි පණැති පොකිරිස්සෝ වූහ. එම ටැංකියෙන් පොකිරිස්සෙකු තෝරා ගන්නා ලෙස වේටර්වරයෙක් කීවේය​. එහෙත් අප පණැති පොකිරිස්සෝ ආහාරයට ගැනීමට අකමැති වූ හෙයින් ඔහු උයන ලද විශාල පොකිරිස්සෙක් මේසයට ගෙන ආවේ‍ය​. අප පොකිරිස්සන් ; චිප්ස් , සලාදයක් සහ මෙක්සිකෝ බීර දිවා ආහාරය ලෙස ගත්තෙමු. 

දිවා ආහාරයෙන් පසු අප වෙරලාසන්නයට ගියෙමු. එහිදී රතු ඉන්දියානු සම්භවය සහිත මෙක්සිකෝ ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු වූහ​. මා ඔවුන් සමග චායාරූපයක් ගැනීමට ඉල්ලීමක් කලෙමි. ඒ සඳහා ඔවුන් ඩොලර් පහක් ඉල්ලා සිටියහ​. ඩොලර් පහක්  ගෙවීමෙන් පසු ඔවුන් මා සමග චායාරූපයට පෙනී සිටි අතර මම ඔවුන් ලඟ තිබූ අත්කම් භාන්ඩද මිලට ගත්තෙමි. 

වෙරළ අසල විශාල අශ්ව ගාලක් විය​. එම අසුන් උසෙන් සහ මහතින් යුක්ත වූහ​. මිනිසෙක් අසුන් තිදෙනෙක් බැඳි රියක් අප අසල නවතා එන්සිනාඩා   නගරයේ රවුමක් යාමට ආරාධනා කලේය​.  අප නගරයේ සිරි නැරඹුවේ අස් රියෙන් යන ගමන් ය​. ඒ අතරවාරයේ ඔහු කැඩුනු ඉංග්‍රීසියෙන් විස්තර ප්‍රචාරයක් ද දුන්නේය​. මේ පුද්ගලයා අප ස්පීඩි ගොන්සාලිස් ලෙස රහසේ නම් කලෙමු. අස්ව කරත්ත චාරිකාවට ස්පීඩි ගොන්සාලිස් අපගෙන් අය කලේ ඉතා සාධාරන ගනනකි. ඉන් වසර කීපයකට පසුව මම මොන්ට්‍රියල් නගරයේදී අශ්ව කරත්තයකින් කුඩා වටයක් ගියෙමි. මොන්ට්‍රියල් අසු දක්වන්නා මගෙන් අස්ප ගනනක් ගත්තේය​. 

අශ්ව ගමනින් පසු අප කෞතුක බඩු විකුනන කඩයකට ගියෙමු. එම කඩයේ ඉන්කාවරුන් ගේ කෞතුක භාන්ඩ තිබුනේය​. නමුත් ඒවා අනුපිටපත් බව මම අනුමාන කලෙමි. එහෙත් එම කඩයේ තිබූ විශාල යකඩ බුදු පිලිමය ආසියානු රටකින් ගෙන එන ලද්දක් බවට සිතීමේ සාධක තිබුනි. මෙම බුදු පිලිමයට ඔවුන් ඩොලර් 2500 ඉල්ලා සිටියහ​. 

මෙසේ බොහෝ වේලාවක් කෞතුක භාන්ඩ නැරඹූ අප සවස් යාමයේදී ලොස් ඇන්ජලිස් නගරය බලා ගියෙමු. 




වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, August 2, 2016

රිය අණතුරු

 



1977 දී අප පහ වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අප අතර සිටි සිසුවෙකු වූ ජයත් ගේ මව මෝටර් රථ අණතුරකට ලක්ව මිය ගියාය​. එය ඉතා දුක්මුසු මරණයක් විය​. ජයත් ගේ මවගේ මරණය සිදු වන විට ඔහුගේ මල්ලි කිරි බොන අත දරුවෙකුව සිටියේය​. ජයත් ගේ පවුල ජීවත් වූයේ නාලන්දා විද්‍යාලය අසලය.  ජයත්ලාගේ මවගේ  අවමගුලට සහභාගි වූ අපගේ පන්ති භාර ගුරුවරිය මව අහිමි වූ අත දරුවා  මවගේ උණුසුම සොයමින් කොට්ටයක් බදා ගත් අයුරු කීවේ කඳුළු වෑස්සෙන දෙනෙතිනි. 

ජයත් ගේ මව මිය ගියේ අපගේ පාසලේ ගුරුවරියකගේ පුතෙකු පැදවූ මෝටර් රථයකට යට වීමෙනි. මරදානේ මවුලානා පාරේ සිදුවූ අණතුර ගැන ඒ කාලයේ පුවත් පත් වලද වාර්තා පළ විය​. මෙම ගුරුවරියගේ සැමියා සිරිමා බණ්ඩාරනායක රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු විය​. ඔහුගේ නිල රථය එලවීමට රියැදුරෙකු සිටියද තවමත් දහ අට විය නොලැබූ ලේකම් පුතා අධික වේගයෙන් රිය පදවා ජයත් ගේ මව යට කලේය​. ඇය ඒ අවස්ථාවේදීම මිය ගියාය​. පසුව රියැදුරා වාහනය පැදවූයේ ලේකම් ගේ පුතා නොව තමා බව කියා පොලිසියට භාර විය​. 

දේශපාලන බලය හමුවේ ජයත් ගේ පවුලට යුක්තිය හා සාධාරණය ඉටු නොවීය​. ඒ කාලයේ මම මව අහිමි වීම නිසා දුක්මුසුව සිටි ජයත් හමු වී කතා බස් කලෙමි. ඔහුගේ පියා සේවය කලේ රිච්ඩ් පීරිස් ආයතනයේය​. බිරිඳ අකාලයේ මිය යාම නිසා කිරි දරුවෙක් සහ ලාබාල වියේ සිටින ළමුන් කිහිප දෙනෙකුගේ පියෙකු පත්වූ දුෂ්කර තත්වය ගැන කිව යුතු නැත​. එහෙත් මේ අසීරුතා මැද ජීවිතය ජයගත් ජයත් මැදපෙරදිග සේවය කරයි. එදා කිරිකැටියෙකුව සිටියදී මව අහිමි වූ දරුවා අද නීතීඥවරයෙකි.  නමුත් මේ ළමුන් තුල මවගේ වියෝ දුක තවමත් තිබේ. 

මම හලාවත රෝහලේ සිටියදී එක් වෛද්‍යවරයෙකු ඔහුගේ ජීවිත කතාව මා සමග කීවේය​. පාසල් සිසුවෙකුව සිටියදී ඔහුගේ පියා මාර්ග අණතුරකින් මිය යන්නේය​. මවත් අක්කාත් මල්ලීත් සමග මෙලොව තනි වෙන ඔහු පාසල් යමින් බිත්තර විකුණා ගෙදර ආර්ථිකයට උර දෙයි. පියා අහිමි මේ ළමයාට පාසලේ සිසුන් විහිළු කරන්නේ බිත්තර මුදලාලි කියාය​. ඔහු හොඳින් ඉගෙන ගෙන වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබයි. වෛද්‍ය විද්‍යාලයේද ආර්ථික දුෂ්කරතා මැද උගත් ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු තමාගේ අතීතය අමතක කොට නැත​. මේ උදාර මිනිසා මගේ ලෝකයේ වීරයෙකි.  

ජාතික රෝහලේදී මට හමුවූ තවත් වෛද්‍යවරියකගේ පියා රිය අණතුරකින් මිය යන්නේ ඇය පස් හැවිරිදි වියේ සිටියදීය​. පියා පිළිබඳ යම් මතකයන් ඇය තුල තිබේ. එසේම පියා මිනී පෙට්ටියක සිටි අයුරුත් මව සහ අනෙකුත් නෑදෑයින් අඞමින් සිටි අන්දමත් ඇයට මතකය​. පියාගේ වියෝව නිසා මතු වූ සමාජ අාර්ථික ගැටළු වලට මුහුණ දී ඇය ජීවිතය ජය ගත්තාය​. 

නමුත් මේ වාසනාව සැමටම නැත​. එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මැද ටැක්සි රියැදුරෙක් තම ටැක්සිය අනාරක්‍ෂිත දුම්රිය රේල් ගේට්ටුවක් අසලදී  දුම්රියක හැපී ජීවිතක්‍ෂයට පත් විය​. පසුව ඔහුගේ බිරිඳත් අට හැවිරිදි දරුවාත් හිඟමනට වැටුනි. ඔවුන් යාචකයන් ලෙස ගෙයින් ගෙට ගිය අයුරු මම දුටුවෙමි. 

වාර්‍ෂිකව බරපතල රිය අණතුරු 6000ක් පමණ  දිවයින තුල වාර්තාවන අතර  එම හේතුවෙන් වාර්‍ෂිකව 2000 කට අධික පිරිසක්  මිය යන බවත් විශාල පිරිසක්  සදාකාලික අබාධිත තත්වයට පත්වන  බවත්  වාර්තා වේ.  මේ නිසා අනාත වන පිරිස අති විශාලය​. මෙය සමාජ මෙන්ම සෞඛ්‍යය ගැටළුවක් ලෙස දැකිය යුතුය​. එසේම රිය අනතුරු වැලැක්වීම සඳහා නිසි පියවර ගත යුතුය​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook