මා ඉගෙනුම ලැබුවේ සිංහල බෞද්ධ පාසලකය. අපගේ පාසලේ ද්‍රවිඩ හෝ මුස්ලිම් සිසුන් කිහිප පෙනෙකුවත් සිටි බවක් මට මතක නැත. අප උසස් පෙළ පන්ති වල සිටියදී නම් කලම්බෝ චෙට්ටි කියා ජන වාර්ගිකව හඳුන්වන සිසුවෙකු අළුතින් උසස් පෙළ ඉගෙන ගැනීමට නාලන්දාවට ආ බව නම් මතකය.
ආනන්ද මහා විද්‍යාලයේ සිටි මගේ මිතුරන් අතර මුස්ලිම් සිසුවෙකු විය. ඔහු ඉතා හොඳ මිත්‍රයෙකි. පසුව ඉහල අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.
සිංහල බෞද්ධ පාසලක මම ඉගෙනුම ලැබුවද මා කුඩා කාලයේ සිටම හැදී වැඩුනේ බහු වාර්ගික පරිසරයක. එම නිසා මා තුල වාර්ගික අගතීන් වර්ධනය වීම සාපේක්‍ෂව අඩු විය. මේ හැර මගේ පියාට සෑම ජාතියකම මිතුරන් සිටියේය. මොවුන් අතරින් ස්කන්ධරාජා අංකල් (ද්‍රවිඩ) , කලීල් අංකල් සහ අකිල් මොහොමඩ් අංකල් (මුස්ලිම්) , බදූර් අංකල් (බෝරා) , ජසීම් අංකල් (මැලේ), ඇලෙක් රොබට්සන් මහතා ( බර්ගර්) මට මතකය. ඔවුන් මගේ පියාට මෙන්ම අපගේ පවුලේ සාමාජිකයන්ටද හිතවත් වූහ. මේ මිතුරුදම් මගේ පියා මිය යන තෙක් පැවති අතර මේ අංකල්ලා බොහෝ දෙනෙකුද අද ජීවතුන් අතර නැත.
1983 කළු ජූලියේදී ස්කන්ධරාජා අංකල් ගේ වැල්ලවත්ත නිවස පුච්චනු ලැබීය. මේ නිසා මගේ පියා බොහෝ සෙයින් කම්පා විය. ස්කන්ධරාජා අංකල් පසුව යාපනයේ ඔහුගේ ගමට ගියේය. ඉන් වසර දෙකකට පමණ පසු හදිසි අණතුරක් නිසා ඔහු මිය ගියේය.
අපගේ අසල්වැසි ළමුන් සමග අප සෙල්ලම් කලෙමු. එසේම රන්ඩුද කලෙමු. රන්ඩු වලදී සමහර විට වාර්ගික අගතීන් ද ඉස්මතු විය. එහෙත් පොදුවේ රන්ඩු වෙමින් යාළු වෙමින් එකට සෙල්ලම් කරමින් කුඩා කාලයේ සිට අප එකට වැඩුනි.
මේ මිතුරන් අතර තම්බි හෙවත් ලිංගම් මට මතකය. තම්බි අපට දෙමලෙන් බනින හැටි ඉගැන්වීය. පන්දු කල්ලන් ( බෝල හොරා) ඇනප්පි නෑරුම් යන ද්‍රවිඩ වචන මා ඉගන ගත්තේ තම්බි මගිනි. එසේම ද්‍රවිඩ ජාතික ළමුන් වූ රාජන් සහ කුමාරන් සමග අප ක්‍රිකට් ගැසුවෙමු. කුමාරන් ඉතා සන්සුන් අයෙකි. එහෙත් රාජන් ගෝරිකාරයෙකි. මම රාජන් සමග ගුටි බැට හුවමාරු කරගෙනද තිබේ. සිංහල කාන්තාවක් විවහා කරගත් කුමාරන් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
ක්‍රිස්තියානි ද්‍රවිඩයෙකු වූ ජෙරමි නත්තලට ඔහුගේ නිවසේ තිබෙන සාදයට වරක් අපට ආරාධනා කලේය. අප කොල්ලන් රොත්තම ජෙරමි ගේ නිවසට ගොස් කේක් කා පළතුරු යුෂ බිව්වෙමු. ජෙරමි වර්තමානයේ කැල්ගරි හි ජීවත් වේ.
මුස්ලිම් ජාතික ළමයෙකු වූ අන්වර් අප සමග ක්‍රිකට් ගැසීමට ආවේය. ඔහු අරුම පුදුම කතා කියන්නෙකි. වරක් වෑන් දෙකක් එකට හැප්පීම නිසා තට්ටු තුනේ ගොඩනැගිල්ලක් කඩා වැටුණු බව කීවේය. අප දෙනෙත් ලොකු කරගෙන අන්වර් ගේ කතාව අසා සිටියෙමු. අන්වර්ලා මුස්ලිම් වූවද සිත්තර පත්තරය බලති. අප ඉරිදා සවස සිත්තර පත්තරය අන්වර්ලා ගෙන් ඉල්ලාගෙන සඳුදා සවස ගෙන ගොස් දෙන්නෙමු. 1997 වසරේදී මට බම්බලපිටිය චෙෆ් ලංකා අවන්හලේදී අන්වර් ව හමු විය. අප ඉතා ලෙන්ගතුව අපගේ ළමා කාලය ගැන කතා කලෙමු.
මැලේ ජාතික ඩිල්‍ෂාන් සහ රෙන්සා අප සමග ක්‍රිකට් මෙන්ම හොරා පොලිස් ක්‍රීඩාවද කලෝය. ඔවුන් උත්සව සමයේ අපට වටලප්පම් ගෙනාවෝය. එසේම මැලේ හරුප අපට උගන්වා ඔවුන් ගේ පියා ගෙන් පටි පාර කෑවෝය.
ඩිල්‍ෂාන් සහ රෙන්සා අයියා මලෝ අපට ඉගැන්වූ මැලේ හරුපයක් නම් ; ලුප්පේ මූකේ සෙප්පේ පන්තක්කේ ආඩාය. මෙහි තේරුම උඹගේ මූණ මගේ පශ්චාත් පෙදෙස වගේ යන්නයි. ඩිල්‍ෂාන් සහ රෙන්සා අපට ඉගැන්වූ මැලේ වචන අප හොරා පොලිස් සෙල්ලම කරද්දී කියා කෑගැසුවෙමු. එය ඇසුණු ඔවුන් ගේ පියා ඩිල්‍ෂාන්ට සහ රෙන්සාට තරවටු කොට නිවසට කතා කර පටි පාර දුන්නේය. එහෙත් අප ලුප්පේ මූකේ සෙප්පේ පන්තක්කේ ආඩා වචනය කීම අත් නොහැරියෙමු.
මුස්ලිම් පිරිමි ළමුන් සුන්නත් කිරීම ගැන අප දැනගත්තේ මේ මුස්ලිම් මිතුරන් ගෙනි. ඩිල්‍ෂාන් සහ රෙන්සා සුන්නත් කිරීමෙන් පසු ඔවුන්ව දකින කොල්ලන් කවට ලෙසින් ටිප් කට් කියති. පසු කාලයක ඩිල්‍ෂාන් සහ රෙන්සා ඕස්ට්‍රේලියාවට ගියෝය.
අපගේ නේබර්හුඩ් එකේ ලන්සි ළමුන් ද සිටියහ. රොහාන් , යොහාන් යනාදී වශයෙන් නම් වලින් යුතු ෆ්රුට්නික්ලා ලන්සි වූහ. ඔවුන් අප සමග තරඟයට ක්‍රිකට් ගැසීමට ආහ. එසේප අප ඔවුන් සමග රණ්ඩුද කලෙමු. වරක් මා සමග ගෝරියට රොහාන්ට මම පහර දුන්නෙමි. ඉන්පසු ඔහු තම සොහොයුරු කැළ සමග ආවේය. මම පැන දිව්වෙමි. ඉන්පසු මේ ගැටුම සමථයකට පත් විය.
ඒ කාලයේ අප තෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාළයේ කොනේ තිබූ ඔවුන් ගේ නිවසේ වීදුරු වලට ගල් ගැසුවෙමු. අප ඉලක්ක ගැනීමට පුරුදු වූයේ ෆ් රුට්නික්ලා ගේ ජනෙල් කැඩීමෙනි. වරක් ජෙරමි ෆ්රුට්නික්ලා ගේ ජනේලයක් කැඩී යන ලෙස ගලක් ගලක් ගැසීය. ජනේලය ස්ලං ගා කැඩී යාමත් සමගම අපි කොල්ලන් බුරුත්ත වහා දිව ගොස් සැඟවූයෙමු.
1993 මම කළුබෝවිල රෝහලේ සේවයේ සිටින විට ඔවුන් ගේ පියා ප්‍රතිකාර සඳහා ආවේය. මම ජ්‍යෙෂ්ඨ ෆ්රුට්නික්ට උපකාර කලෙමි.
ලන්සි ළමයින් වූ රසල් ,ටිරෝන් , සිරිල් යනාදීන් සමග අප සමහර විට කටුස්සන් මරා බැනුම් ඇසුවෙමු. වරක් මම ලන්සි ළමයින් සමග උණම්බුව ආන්ටීගේ වත්තේ කටුස්සන් අල්ලද්දි උණම්බුව ආන්ටී " ඔය මිසිස් ජයතුංගේ පුතා නේද ? ඔය ළමයා දහම් පාසල් යනවා නේද ඇයි මේ පව් වැඩ කරන්නේ කියා මට කෑගැසුවාය. එහෙත් ඇය ලන්සි ළමුන්ට කිසිවක් නොකීම මට විමතිය ගෙන ආවේය.
ලන්සි ළමයින් ලඟ ටින් ටින් පොත් කොමික්ස් පොත් තිබූ නිසා අප ඒවා ඔවුන් සමග මාරු කරගෙන බැලුවෙමු. නත්තල් කාලයට අප ඔවුන් සමග එක් වී රතිඤඥා පත්තු කලෙමු. එසේම මුඩුම ගති තිබූ අසල්වාසීන් ගේ නිවෙස් වල දොරවල් වලට රතිඤඥාවක් සෙලෝ ටේප් මගින් අලවා එය පත්තු කොට දොරට තට්ටු කොට දිව්වෙමු. එසේත් නැතහොත් අහස් කූරක අගට හඳුන්කූරක් සම්බන්ධ කොට හඳුන්කූර පත්තු කොට අහස් කූර අදාල අසල්වැසි නිවසේ ජනේලයකට එල්ල කොට මාරු වූයෙමු. අහස් කූර විනාඩි විස්සකට පසුව පියාඹගෙන නිවස අස්සට යයි. ඒ වන විට කොළු ත්‍රස්තවාදීන් තම තම නිවෙස් වල ඇඳන් උඩ ගුලිවී නිදති.
ලන්සි ළමයි අප සමග කතා කලේ ඉංග්‍රීසි බසිනි මේ නිසා කුඩා කාලයේ සිට ඉංග්‍රීසි බස අපගේ සවන් වලට වැටුනි. ඔවුන් කතා කලේ දැට් බගර් දිස් බගර් කියාය. වරක් මම බගර් වචනය නිවසේදී කීම නිසා පියා මගේ කණ මිරිකීය.
සිංහල බෞද්ධ පාසලක ඉගෙනුම ලැබුවද මට බහු වාර්ගික සංස්කෘතීන් සමග මුහු වීමට කුඩා කාලයේ සිට අවකාශ ලැබුනි. අපගේ පාසල් ක්‍රමය බහු වාර්ගික සංස්කෘතීන් වෙනුවට අන‍්‍රග්‍රහ දෙන්නේ ඒක වර්ගික සංස්කෘතියකටය. උදාහරණ ලෙස සිංහල , පාසල , මුස්ලිම් පාසල , දෙමල පාසල ලෙස වාර්ගිකව වෙන් කරන ලද පාසල් වල ඉගෙන ගන්නා ළමුන් උස් මහත් වී සමාජයේදී එකිනෙකා හමු වූ විට මරාගනිති.
මුස්ලිම් හෝ ද්‍රවිඩ විරෝධී බව ලේ වලට කා වැදී තිබෙන මගේ සමහර මිතුරන් කුඩා කාලයේ සිට හැදී වැඩී ඇත්තේ සිංහල වටපිටාවක බව මට පෙනී ගොස් තිබේ. එසේම තනිකර මුස්ලිම් හෝ ද්‍රවිඩ පරිසර වල අනෙකුත් ජාතීන් සමග මුහු නොවී වැඩෙන ළමුන් තුල වාර්ගික අගතීන් පහසුවෙන් රෝපණය කල හැක. මලිනී ජෙයකුමාරන් හෙවත් තමලිනී තම ස්වයං ආත්ම කථනය වූ "තියුණු අසිපතක සෙවණැල්ල යට" කෘතියෙන් ද මෙම කරුණ පෙන්වා දෙන්නීය.
වාර්ගිකව ආගමිකව ළමුන් වෙන් නොකොට බහු වාර්ගික පරිසරයක ළමුන්ට ඉගෙන ගැනීමට සලස්වන්නේ නම් අනාගත ලේ ගලා යාම් වැලැක්විය හැකි බව මට සිතේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග