Pages

Tuesday, May 31, 2022

ධනවාදය වැඩ කරන්නේ මෙහෙමයි

 


වරක් මා කොලඹ සිට හම්බන්තොට වෙත යන විට මෝටර් රථයේ ටයර් එකේ පැච් එකක් ගියේය​.  ටයර් බාස් කෙනක් තරමක් පැරණි එම ටයරයට පැච් එකක් අලවා දුන්  අතර ඉන් පසු වසරක පමණ කාලයක් මම එම ටයරයෙන් දිව්වෙමි. 

මීට වසර කීපයකට පෙර මම ටොරොන්ටෝ සිට නිව් යෝක් දක්වා වාහනය පදවමින් සිටියෙමි. රෝචෙස්ටර් නගරය ආසන්නයේදී ඇණයක් ඇනී ටයරයේ පොඩි පැච් එකක් ගිය අතර වහාම මම අදාල වාහනයේ ඩීලර් ෂිප් එකක් ඇමතුවෙමි. එම ටයරය අළුත් එකක් වූවද ඔවුන් එම ටයරය යලි භාවිතාවට ගත නොහැකි බවත් එය ගාබේජ් දැමිය යුතු බවත් කියා ටයරය විසි කොට මට අළුත් ටයරයක් සවි කොට මුදල් අය කලේය. 

මේ සිදුවීම් දෙක විවිධ ලෙස අර්ථ කථනය කල හැකිය. ලංකාවේ කුඩා මාවත් වල ටයර් පැච් දමා වාහන  එලවිය හැකි වූවද ඇමරිකානු හයිවේ වල ටයර් පැච් දමා වාහන  එලවීම අන්තරාදායකය​. එහෙත් ඇණයක් ඇනුනු අළුත් ටයරයක් කුණු ගොඩට විසි කොට යලි අළුත් ටයරයක් පාරිභෝගිකයාට ලබා දීම පරිසර සුරක්‍ෂිතතාව , අරපිරිමැස්ම යන කරුණු යටපත් කොට වෙළඳ පොළ අවශ්‍යතා අනුව ක්‍රියා කිරීමක් නොවේද කියා මට සිතුනි. 

Friday, May 20, 2022

නොස්ටැල්ජියාව

 



සති ගනනක් ගෙවුනා
ඔයාව දැක්කේ නෑ
දේවාලය ගිනිබත්
හමුදාවේ කොල්ලෝ දම්මලා
හදලා දුන්න හෝටලෙත් සුන්
ඊයේ පෙරේදා ඔයාව
ටෙලිවිෂන් එකෙන් දැක්කා
ලස්සන මූණ මැලවිලා
අතේ රතු නූලත් නෑ
මාව අමතක කරලද කියලා
සමහර විට මට හිතෙනවා
හවසට හරි පාළුවක් දැනෙනවා
ඔයාට වැඩ ඇති ගොඩක්
ඒත් මට කෝල් එකක් දෙන්න 

Wednesday, May 18, 2022

කපුගේ නොදුටු බිම්බරක් සෙන​ඟ




පැල්වත්ත සිනී සමාගම ඇති කිරීමට එරෙහිව, ‘වෙල්ලස්සේ ඉඩම් කොල්ලය‘ කියා ගෙන ගිය උද්ඝෝෂන ව්‍යාපාරය. 

ඒ උද්ඝෝෂනය දේශපාලන න්‍යයාය පත්‍රයක් අනුව ඉදිරියට ගෙන ආ බල ලෝභී ව්‍යාපෘතියක් ද නොවෙයි. එහි මූලිකත්වය දැරුවේ වෙනත් පිරිසක්. වමේ කොටස්, පරිසර වේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, කලා කරුවන් මේ උද්ඝෝෂණයේ ඉදිරියෙන් සිටිය. නමුත් විරෝධතා ව්‍යාපාරයක නායකත්වය කෙතරම් හොඳ වූවත් ව්‍යාජ කාරණා මත කෙරෙන විරෝධතා ඉතිහාසයේ හාස්‍යයන් බවට පත් වෙනවා. මෙය ඊට හොඳ උදාහරණයක්.

1977 බලයට පැමිණි ජේ.ආර්. රජයල රට තුල සීනි නිෂ්පාදනය කිරීම සඳහා ලෝක බැංකු සමග කළ අධ්‍යනයකදී උක් වගාවට (rain-fed sugar cane cultivation) මොණරාගල සුදුසු යැයි හඳුනා ගන්නවා. ඒ 1978 දී. මේ සඳහා ශක්‍යථා වාර්තාවක් සකස් කිරීමට උක් වගාව සම්බන්ධ විශේෂඥයින් වූ බ්‍රිතාන්‍ය සමාගමක් වන ‘බුකර් ටේට්‘ සමාගමට භාරදෙන අතර වසරක් ඇතුලත එනම් 1980 දී ඔවුන් එය අවසන් කර නැවත ශ්‍රී ලංකා රජයට භාර දෙනවා. වර්ෂා පතන සාධකය අනුව ඔවුන් හඳුනා ගන්නවා බුත්තල පැල්වත්ත ප්‍රදේශය උක් වගාවට සුදුසු බව. මේ අනුව ජේ.ආර්. රජය බුකර් ටේට් සමාගම සමග 25 වසරක බදු ගිවිසුමක් ඇතුලත්ව සමාගමට ‘අක්කර ලක්ෂයක්‘ පැල්වත්ත ප්‍රදේශයෙන් පවරා දීමට තීරණය කරනවා. 

පැල්වත්ත ප්‍රදේශයෙන් එක් පැත්තකට හදපානාගල වැව සහ අනෙක් පැත්තට මැණික් ගඟ මායිම්ව මේ ඉඩම් වෙන් කරනු ලබනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ වැඩි කොටසක් රජයේ ඉඩම් වන අතර යම් කොටසක ජනයා පදිංචි වී සිටියා. වැඩි දෙනෙක් සංචාරක හේන් ගොවිතැන් කළ අය. පදිංචි කරුවන් සිටියෙ ටික දෙනයි. ඔවුන් සමස්තයක් ලෙස දුෂ්කර එමෙන්ම දුගී ජීවිත ගෙවපු හේන් ගොවියන්. කිලෝ මිටර් 10 ක් එහාවත් විදුලිය තිබ්බෙ නැහැ. නළ ජලය, දුරකථන ඒ කාලේ බුත්තලට වත් නැහැ. සමාගම පදිංචි කරුවන් ඉවත් කරන්න ආකර්ශණීය වන්දි යෝජනා කර තිබුණා. 

ඒත් උද්ඝෝෂණ නොනවත්වා ඉදිරියට ගෙන ගියා. කොළඹ සිට බුත්තලට ගිය පිරිස් මේ උද්ඝෝෂන වල ඉදිරියෙන් සිටියා. මොණරාගල දිසාපති කාර්යාලය නිතර වැටළුවා. ජේ. ආර්. විරෝධීන් මේ ඉඩම් පවරා දීම හඳුන්වා දෙන්නේ ‘සුද්දන්ට නැවත රට පවරා දීමක්‘ ලෙසයි. අපේ පාරම්පරික ඉඩම් වලින් ජනයා පලවා හැර නැවත සුද්දන්ට රට පාවා දෙනවා යැයිද දිවි හිමියෙන් මේ පවා දීමට එරෙහි වනවා යැයි ද විරෝධතා කරුවන් පැවසුවා. අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ වලින් අඩුවක් තිබුනෙ නැහැ. පරිසර වේදීන් කියා සිටියේ රජය විශාල වන විනාශයකට සූදානම් වන බවයි.

ඒත් ජේ.ආර්. රජය තම තීන්දුව විරෝධතා නිසා පස්සට ගත්තේ නැහැ. කැලේ සුද්ද කරන්න විශාල ඩෝසර් (Cat D-9, Komatsu 115) ගෙනාවා. ඩෝසර් දෙකක් අතරේ අඟල් දහයක පමණ මහත චේන් යවා ගස් පෙරළුවා.මේ යන්ත්‍ර ඉදිරියේ විරෝධතා කරුවන් නිදා ගත්තා. ඔවුන්ව ඇද දමමින් දිගටම කැලය සුද්ද කලා. කැලේ සුද්ද කර උක් වගාවට පොළොව සකස් කරන්න ගෙනා County ට්‍රැක්ටරයේ රෝදයක් අපේ උසට වැඩියි.

“බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ”

මේ ගීතය රත්න ශ්‍රී ලියන්නේ, කපුගේ ගයන්නෙ පැල්වත්තෙ මේ සිදු වීම ගැන. ජීවිතේට පැල්වත්ත දැක්ක නැති එවුන් මේ ගීතයෙන් වහාම අධිරාජ්‍ය විරෝධීන් වෙනවා. හය හතරක් දන්නෙ නැතිව සුද්දන්ට ඉඩම් දෙනවා කියා ජේ.ආර්. මරන්න යෝජනා කරනවා. කොළඹ අවට ජාතිකවාදී මධ්‍යම පාංතිකයෝ ගීතය අහලා අඬනවා. එක දිගට වැඩමුළු, සම්මන්ත්‍රණ පවත්වනවා. ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ කියලා ඒ කාලෙ නාට්‍යයකුත් නිතර රඟ දැක්වූවා. රත්න ශ්‍රී මේ කාලයේ මොණරාගල සිටිය කියලා තමයි කියන්නෙ.

ඒ අතරේ කර්මාන්ත ශාලා, කාර්යාල, ගම්මාන ඇතුළු  සියළු ඉදි කිරීම් අවසන් කර, උක් වගාව ඇති කර, 1986 දී සීනි නිෂ්පාදනය ආරම්භ කරනවා. කර්මාන්ත ශාලාව විවෘත කරන්න ජේ.ආර්. එනවා. සමාගම සියළු සේවකයින් වෙනුවෙන් පදිංචියට සියළු පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා. ඒවට කියන්නේ ‘හැම්ලට්‘ කියලා. දේශීය නිළධාරීන් වෙනුවෙන් වෙනම ගම්මානයක් ඉදි කරනවා. පාසල් සහ ළදරු පාසැල් ඇති කරනවා. ළමුන්ට පාසල් යෑමට වෙනම ප්‍රවාහන සේවයක් ඇති කරනවා. අවට හේන් ගොවියන් සමාගමේ වැඩට යනවා. සුද්දෝ තමන්ට ගොල්ෆ් පිට්ටනියක් වගේම ක්‍රිකට් පිට්ටනියක්ද හදා ගන්නවා. උන්ගේ ක්ලබ් එකේ උන් එක්කම අපිටත් බොන්න පුළුවන්. ඒ කාලයේ හොඳම වැටුප් ගෙවපු සමාගම් අතරට පැල්වත්ත සීනි සමාගම එකතු වෙනවා. 

මා 1990 දී පමණ බුත්තලට යන විට එහි දුප්පත් කමක් නැහැ. සමාගමේ වැඩට නොයන අය තමන්ගේම වත්තේ උක් වගාකර සමාගමට විකුණා හොඳ ආදායම් ලැබුවා. ප්‍රවාහනය වැනි අතුරු සේවාවන් වලින් ආදායම් බැලුවා. සවසට බාර්වල මිනිස්සු අරක්කු ගන්න පොරකනවා මා දැක්කේ බුත්තලදී. උක් ප්‍රවාහනය කළේ රාත්‍රී කාලයේ. බුත්තල රෑටත් ක්‍රියාකාරී නගරයක් බවට පත් වී තිබුණා. උදේ 7 වන විට බස් මගින් සේවකයින් වැඩ බිම් වලට ප්‍රවාහනය කරනවා. සවස නැවත ගෙවල් වලට බස්සනවා. ප්‍රවාහන පහසුකම් නිසා ඈත පස්සර ප්‍රදේශයෙන් පවා කම්කරුවන් වැඩට ආවා.
 
1994 දී බුකර්ටේට් සමාගම සහ සුද්දෝ, සියල්ල පැල්වත්තේ තිබිය දී නැවත බ්‍රිතාන්‍යයට යනවා. මේ වන විට පැල්වත්ත සීනි සමාගම රජයේ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒත් බුකර්ටේට් සමාගම හිටිය කාලෙ වගේ සශ්‍රීක නැහැ.

මොණරාගල ප්‍රදේශයේ අද කිසි කෙනෙක් ජේ.ආර් ගේ තීරණය වැරදියි කියන්නෙ නැහැ. කිසි කෙනෙකු අවතැන් වෙලත් නැහැ. ඒ වගේම සැමගේම පොදු ජීවන තත්වය උසස් වෙලා තියනවා. සැඟවී තිබුණු  බුත්තල-පැල්වත්ත ප්‍රදේශය ඉදිරියට ඇවිත් තිබෙනවා. 

“මිනීමල් පිපුන සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි“

රත්න ශ්‍රී ගේ ගීතය අද මොණරාගල - බුත්තල කොල්ලො සංගීත සංදර්ශණ වල ගයමින් නටනවා. උන්ගේ ත්‍රී වීල් වල සද්දේ දාගෙන වාදනය කරනවා. උන් දන්නෙවත් නැහැ ඒ කියන්නෙ උන් ගැන කියලා. මාගේ ජීවිතයේ වසර 10 ක් බුත්තල ගෙව්ව. ඒ බුකර් ටේට් අවධිය. එය මතක සටහන් පිරි සශ්‍රීක කාලයක්. පැල්වත්ත ඇතුලේ වාහනය යනවිට දෙපැත්තේ පෙනෙන්නේ උක් වගාව පමණයි. ඈතින් මධ්‍යම කඳුකරය පෙනෙනවා. රෑට බණ්ඩාරවෙල, බදුල්ල නගර වල ලයිට් එළි පෙනෙනවා. ලස්සන දර්ශනයක්. බෝතලයක් ගහන්න අපි යන්නේ උක් වගා මායිමේ  මැණික් ගඟ අසලට. 

‘හැම්ලට්‘ වල ගෙවන කම්කරු ජිවිත, ළමුන් සමාගමේ බස් වලින් පාසල් යන-එන හැටි, සාමාන්‍ය ජනයාගේ ජීවන තත්වය ඉහලට ඇවිත් තියන හැටි රත්න ශ්‍රී ට පෙන්නන්න තිබුණ නම් හොඳයි. 

සංවර්ධන ව්‍යාපෘති වලට විරුද්ධ වීම ඉතා පහසුයි. ඒක වාමාංශික, ජාතිකවාදී, පරිසර වාදී  මොස්තරයක්. ඒත් ඒ උද්ඝෝෂණ, විරෝධතා පමණක් නොවෙයි ඒවාට සහභාගි වූ අයත් ඉතිහාසයේ කුණු කූඩයට යනවා. ඒත් සංවර්ධන ව්‍යාපෘති වලට නායකත්වය දීපු අය තම නම ඉතිහාසයේ කොනක සටහන් කරනවා. ඩී.එස්, ජේ.ආර් වගේ. 

 

-විසල් කරුණාරත්න විසිනි-

Saturday, May 14, 2022

විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් - වෛද්‍ය රුවන් එම් ජයතුංග

 



වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් කෘතිය විශ්ව සාහිත්‍ය පිලිබඳව උනන්දු වන සිංහල පාඨකයන්ට අතිශයිම සුදුසු ග්‍රන්ථයකි. විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් කෘතිය හෝමර් , වර්ජිල් ,  ඩන්ටේ අලගියරි, ජෙෆ්‍ රි චෝසර්, සර්වන්ටෙස්, විලියම් ශේක්ස්පියර්, වෝල්ටෙයාර්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ගෝගොල්, චාල්ස් ඩීකන්ස්, වික්ටර් හියුගෝ, ගුස්ටාව් ෆ්ලෝබර්ට් , වෝල්ටර් ස්කොට්, විලියම් වර්ඩ්ස්වත්, ෆියෝඩර් දොස්තයෙව්ස්කි, ලියෝ ටෝල්ස්ටෝයි , ඔස්කා වයිල්ඩ්, වර්ජීනියා වුල්ෆ්, හර්මන් මෙල්විල්, එඩ්ගාර් ඇලන් පෝ, ඩී.එච්. ලෝරන්ස්, ජෝසෆ් කොන්රාඩ්, මැක්සිම් ගෝර්කි, ෆ්‍රාන්ස් කෆ්කා, ඇල්බෙයා කැමූ, අර්නස්ට් හෙමිංවේ , බොරිස් පැස්ටර්නාක්, රබීඳ්‍රනාත් තාගෝර්, යසනූරි කවබත​, ගේබ්‍රියල් ගාෂියා මාකේස්,  චිනුවා අචෙබේ යනාදී ලෝක පූජිත සාහිත්‍යධරයන් ගේ කෘතීන් පිලිබඳව විග්‍රහක් ඉදිරිපත් කරයි. ලෝක සාහිත්‍ය පිලිබඳව සිංහල භාෂාවෙන් ලියා ඇති සීමිත පොත් අතර විශ්ව සාහිත්‍යයේ පැතිකඩක් ග්‍රන්ථය එකතු වීම සිංහල පාඨකයන් විසින් ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය​. මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය වැනි විද්වතුන් ගේ ප්‍රසාදයට ලක් වූ මෙම ග්‍රන්ථය පිටු 472 කින් යුක්ත අතර කතෘ ප්‍රකාශනයක් ලෙස ලබන මස එළි දැක්වෙයි.

Friday, May 13, 2022

සෝමේ අයියා සහ Led Zeppelin



සෝමේ අයියා හෙවත් චිත්‍රාල් සෝමපාල ගේ දක්‍ෂතා ලංකාවේ ජනතාව අගය නොකිරීම ඛේදයකි. Led Zeppelin කණ්ඩායම ගායනා කරන Stairway To Heaven ගීතය ගායනය කිරීමට අපහසු ගීතයකි. මේ Stairway To Heaven ගීතය ගායනා කිරීමට මාද අසාර්ථක උත්සහයක යෙදුනෙමි. පහත දැක්වෙන්නේ චිත්‍රාල් සෝමපාල විසින් Stairway To Heaven ගීතය ගායනා කරන අවස්ථාවකි. මේ Stairway To Heaven ගීතය මේ ලෙස දක්‍ෂ ලෙස ගායනා කිරීමට සමත් ශ්‍රී ලාංකික ගායකයෙකු නොමැත. 

චිත්‍රාල් සෝමපාල ගේ ගායනය අසන්න මෙතනින් ;  

https://www.youtube.com/watch?v=dR_CK0mVYJs

Stairway To Heaven ගීතය ගායනා කිරීමේ මාගේ අසාර්ථ උත්සහාය මෙතනින් ; 

https://www.youtube.com/watch?v=86FS0WczOQk

Tuesday, May 3, 2022

අල්තීනායි සහ පොප්ලර් ගස් දෙක



 

අල්තීනායි දුටුවාද නුඹ
අප දෙදෙනා පැල කරපු
කුඩා පොප්ලර් ගස් දෙක
 
අයිලයේ කඳු බෑවුමක
සිටවූ  කුඩා  පොප්ලර් ගස් දෙක
මේ වන විට අතු පතර විහිදවමින්
විශාල ගස් දෙකක් බවට පත්ව ඇත
 
එදා කුලෑටි ගැමි සිසුවියක වූ නුඹ
අද රට පිළිගත් උගත් මහාචාර්‍යවරියකි
 
ගුරුවරයෙකු ලෙස අයිලයට පැමිණි මා
නුඹලාට අකුරු ඉගැන්වූයෙමි
ජීවිතය පිලිබඳව කියා දුන්නෙමි
වෘකයන් ගෙන් නුඹව බේරා ගත්තෙමි 

අපගේ ජීවිත යටිකුරු කරමින් 
යුද්ධය පටන් ගත් වහාම 
මා යුද පෙරමුණට ගියෙමි

අපගේ ජීවිත වලට  අනපේක්‍ෂිතව
ගොරතර ශීත කාලය ආවේය
හිම කැට සහිත නපුරු සුළං හැමුවේය
එහෙත් යළි එන වසන්තය කෙරෙහි
අප විශ්වාසය තැබුවෙමු 

යුද්ධයේ  චණ්ඩ මාරුතය
අප දෙදෙනා දෙපසකට  ඇද දැමුවද
පොප්ලර් ගස් දෙක තවමත් එකටය 
අද දිනයේ මහා විශාල වෘක්‍ෂයන් වී
එම ගස් දෙක මිනිසුන්ට සෙවන දෙති


රුවන් එම් ජයතුංග