Thursday, October 31, 2019

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග



විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ සේවය කිරීමට ලැබුනු කාලය මාගේ වෘත්තීය ජීවිතයේ ඉතා එලදායී කාලයක් ලෙස මම සලකමි. 2002 වසරේ සිට 2006 වසර දක්වා යුද හමුදා රෝහලේද 2007 සිට 2009 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව මානසික සෞඛ්‍ය  වැඩසටහන් වලදීද මම එතුමා සමග වැඩ කලෙමි. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා  ගෙන් ඉගෙන ගත් දේ බොහෝය. වර්තමානයේ මම කැනේඩියානු / ඇමරිකානු මනෝ චිකිත්සකයන් සමග සේවය කරන අතර කැනඩාවට එන දේශපාලන අනාතයන් ගේ (asylum seekers) මානසික තත්වයන් තුලනීක්‍ෂණය කිරීමේ (Psychological Assessment) සේවාවන්ද සපයමි. මේ හැර ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරයෙකු වන මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED)   මණ්ඩලයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස කැනඩාව නියෝජනය කරමින් සේවය කරමි. අන්තර්ජාතික තලයක මානසික සෞඛ්‍යය සේවා සැපයීමට දැණුම මෙන්ම පදනම ලබා ගැනීම සඳහා එතුමාගේ ඉගැන්වීම් මට උපකාර විය.

නීල් ප්‍රනාන්දු දක්‍ෂ සායනික මනෝ වෛද්‍යවරයෙකි. එසේම ඉතා දක්‍ෂ ගුරුවරයෙකි. ප්‍රවීණ දේශකයෙකි. මානසික සෞඛ්‍ය  ක්‍රම සම්පාදනය , සැලසුම්කරණය පිලිබඳව හසල දැණුමක් ඇත්තෙකි. ඔහුගේ මේ දක්‍ෂතා නිසා ඉහලට මතුවීම වෙනුවට ඔහුට ශ්‍රී ලාංකික වෘත්තිකයන් තුල නිසගවම පවත්නා ඉරිසියාවන් සහ කුහකකම් වලට මුහුණ දීමට සිදු විය. එය එක්තරා ආකාරයකින් ඛේදවාචකයක් විය. නීල් ප්‍රනාන්දු  මහතා ශ්‍රී ලංකාවේ වෙනුවට උතුරු ඇමරිකාවේ උපත ලද්දේ නම් ඔහු මීට වඩා බොහෝ දුරක් ගමන් කරනු ඇත.

වෛද්‍ය නීල් ප්‍රනාන්දුව මට මුලින්ම හමු වන්නේ 2002 වසරේ මාර්තු මාසයේදීය. කොලඹ යුද හමුදා රෝහලේ සොල්දාදුවන් වෙනුවෙන් මනෝ චිකිත්සනය සහ මනෝ ප්‍රතිකාරයන්  කිරීම අප දෙපළ ආරම්භ කලෙමු. ලංකාවේ රෝහලක ප්‍රථම වතාවට ප්‍රතිකාරාත්මක උපදේශනය සහ මනෝ චිකිත්සනය සඳහා ඒකකයක් ආරම්භ කලේ අප විසිනි. ඒ සඳහා වෛද්‍ය නීල් ප්‍රනාන්දු නායකත්වය දුන්නේය. අප දෙදෙනා ගුවනින් උතුරේ යුද කඳවුරු වලට ගොස් යුද ආතතියෙන් පෙළුණු සොල්දාදුවන්ට ප්‍රතිකාර කලෙමු. එසේම යුද හමුදා නිලධාරීන් සඳහා දේශන පැවැත්වූයෙමු. අප දෙදෙනා උතුරු අර්ධද්වීපයේ නොගිය කඳවුරක් නොමැතිතරම් ය.

ශ්‍රී ලංකා  යුද හමුදාවේ පවත්නා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත් 2002 – 2006 කාලයේදී අධ්‍යනය කරන ලද අතර අප වෙත යොමු කරන ලද සොල්දාදුවන් 824 අතරින් සොල්දාදුවන් 56 දෙනෙකු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ පූර්ණ ලක්‍ෂණ පෙන්වූ බව සොයා ගත්තෙමු. මෙම අධ්‍යනය සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Combat Related PTSD) පිළිබඳව ශ්‍රී ලංකාවේ කරන ලද ප්‍රථම අධ්‍යනයයි.  මෙම අධ්‍යනය ලංකාවේ මිලිටරි සහ දේශපාලන බල අධිකාරිය විසින් යටපත් කරන ලද අතර මෙම අධ්‍යනය ඇමරිකානු සහ ඊශ්‍රායල මනෝවිද්‍යාත්මක පරියේෂකයන් ගේ අවධානයට ලක් විය.

එකල සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව යුද හමුදාව තුල තහනම් වචනයක් විය. අප විසින් පෙන්වා දුන් කරුණු සහ  නිර්දේශ බල අධිකාරිය විසින් අවඥාවෙන් යුතුව ප්‍රතික්ශේප කරන ලදි. එහෙත් සෙබළුන් 50,000 ආසන්න සංඛ්‍යාවක් යුද හමුදාවෙන් පළා යද්දී සහ උතුරේ බංකර වල සොල්දාදුවන් වෙඩිතබාගෙන සිය දිවි නසා ගනිද්දී ඔවුන්ට අපට සවන් දීමට සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වරට 2005 වසරේදී හිටපු යුද සිරකරුවෙකු වූ සංඥා බළකායේ කෝප්‍රල්වරයෙකු සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව නිසා ආබාධිතයෙකු ලෙස යුද හමුදාවෙන් දීමනා සහිතව ඉවත් කරන ලදි. මේ නයින් ඊලාම් යුද්ධයේදී කායික තුවාල පමණක් නොව මානසික තුවාල ඇති වන බවට පිළි ගැනීමට මිලිටරි සහ දේශපාලන බල අධිකාරියට සිදු විය. මෙය යුදට ගොස් ආබාධිත වූ දුප්පත් සොල්දාදුවන් ගේ පාර්ශවයෙන් ලද විශාල ජයග්‍රහණයකි. 

සුනාමි වියසනය වූ සමයේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා විසින් කරන ලද කාර්‍යභාරයට සමාන කාර්‍යභාරයක් ලංකාවේ කිසිදු මනෝ වෛද්‍යවරයෙකු විසින් සිදු නොකල බව මම සාධක සහිතව පෙන්වා දෙමින් පවසමි. සුනාමි වියසනයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු බොහෝ කඳවුරු වලට ගොස් ආපදාවට පත් වූ ජනතාවට මනෝ සමාජීය සහන සේවා ලබා දුන්නේය. එසේම සුනාමි වියසනයෙන් වසර දෙක තුනක් යන තෙක් ඔහු දකුනේ අපදාවට ලක්වූ මිනිසුන් ගේ මානසික සෞඛ්‍යය නංවාලීමට ඔවුනට ප්‍රතිකාර කලේය. එකල සති අන්තයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු මා ඇතුළු ඔහුගේ අනෙකුත් වෛද්‍යවරු කැටුව මෙම ප්‍රදේශ වලට ගොස් මානසික සෞඛ්‍යය සායන පැවැත්වීය. එසේම එම ප්‍රදේශ වලින් ස්වේච්ඡා සේවකයන් එකතු කොට ඔවුනට ප්‍රාථමික මනෝ සමාජීය සහන සැපයීමේ පුහුණුව ලබා දුන්නේය. මේ කාලයේදී අප දෙදෙනා විසින් විශාදය මෙන්ම දිවි නසා ගැනීමේ චර්‍යාව නිශේදනය කිරීම සඳහා මනෝ උපදේශකයන් සඳහා පොත් කීපයක්ද ලියුවෙමු. සුනාමි වියසනය වූ සමයේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද කාර්‍යභාරය යම් දිනෙක ඇගයීමට ලක් කෙරෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. 

තමන් ගේ කනිෂ්ඨ වෛද්‍යවරුන්ට සවන් දීම ඔහු තුල පැවති නිහතමානී ගුණාංගයකි. වරක් ජාතික රෝහලේ මානසික සෞඛ්‍යය සායනයට අධිකරණය විසින් යොමු කරන ලද පාතාල නායකයෙකු වියාජ ලෙස මානසික රෝග ලක්‍ෂණ පෙන්වන ලදි. ඔහුගේ මෙම වියාජ රෝග ලක්‍ෂණ අධිකරණයට වාර්තා කිරීමට පෙර ඔහුව මවෙත යොමු කොට මෙම පාතාල නායකයා ගේ මානසික තත්වය පිලිබඳව මාගේ නිගමනය කුමක්ද කියා එතුමා මගෙන් විමසුවේය. 

කඩිමුඩියේ මානසික රෝග නිර්ණය නොකිරීම සහ මානසික රෝග සබැඳිව ඉතා ඉක්මන් තීරණ  නොගැනීම මා ඉගෙන ගත්තේ එතුමා ගෙනි. වරක් කොලඹ යුද හමුදා රෝහලේ එක් රෝගියෙකු අප දෙදෙනා මාස 3 පමණ කාලයක් නිරීක්‍ෂණ කලෙමු. ඔහු  පිලිබඳව මානසික තත්ව තක්සේරුවක් (Psychological Assessment) කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නේය. මෙසේ මාස 3 කාලයක් එම රෝගියා නිරීක්‍ෂණය කිරීමෙන් ඔහු භින්නෝන්මාදයෙන් පෙලෙන බව වෛද්‍ය නීල් ප්‍රනාන්දු රෝග නිර්නය කලේය.

වරක් විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය අශෝක කුරුප්පුආරච්චි මහතා භින්නෝන්මාදයෙන් පෙලෙන බවට සනාත කොට එක් රෝගියෙකු යුද හමුදා රෝහල වෙත එවන ලදි. මෙම රෝගියාට මොනරු කෑගසන සහ හෙලිකොප්ටර් අවරපෙති ශබ්දයන් ඇසෙන බව කියන ලදි. එය ශ්‍රවණ භ්‍රාන්තියක් ලෙස මහාචාර්‍ය අශෝක කුරුප්පුආරච්චි මහතා විසින් සලකන ලදි. එහෙත් මෙම රෝගියා පිලිබඳ යම් කුකුසක් මට ආවෙන් මම ඒ පිලිබඳව නීල් ප්‍රනාන්දු  මහතාට කීවෙමි. ඔහු පිලිබඳව මානසික තත්ව තක්සේරුවක් කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නේය. මාගේ වාර්තාවෙන් පසු මෙම රෝගියා භින්නෝන්මාදයෙන් නොව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් පෙලෙන බවට වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා සනාත කලේය. පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් පෙලෙන රෝගීන් ගෙන් 16% සමහරක් අවස්ථා වලදී ඇතිව නැතිවන මනෝව්‍යාධික ලක්‍ෂණ පෙන්වති. මෙය හඳුන්වන්නේ කෙස්ලර් සංසිද්ධිය (Kessler Phenomena) ලෙසටය. මෙය විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය අශෝක කුරුප්පුආරච්චි මහතාට මඟ ඇරුනි.

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ අංගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේද සේවය කිරීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබුණි. එයද මාගේ අත්දැකීම් පුළුල් කරන ලද කාලයක් වූයේය. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කල කාලයේදී අපගේ වෛද්‍යවරු සහ හෙදියන්ට දේශනයක් කිරීම සඳහා 2007 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතාව මම මාදම් පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය  සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ ශ්‍රවාණාගාරයට ආරාධනා කලෙමි. මාගේ ආරාධනය පිලිගෙන පැමිණි එතුමා අප කාර්‍යමණ්ඩලයට හරවත් දේශනයක් පැවැත්වීය.

මට ලෝකයේ ප්‍රමුඛ පෙලේ මනෝ විද්වතුන් හමුවී තිබේ. ඔවුන් අතර මහාචාර්‍ය බැසිල් වැන්ඩකොල්ක් , මහාචාර්‍ය ජුඩිත් හර්මන් (හාවඩ් විශ්ව විද්‍යාලය​) , මහාචාර්‍ය මේරී සීමන් (ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය) මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් (යෝක්  විශ්ව විද්‍යාලය) නම් කල හැකිය​. එම පතාකයන් අතර විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුද මට සුවිසල් චරිතයක් බව ප්‍රකාශ කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

  1. මේ ලියන මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පිළිබද මාගේ පුද්ගලික අත්දැකීමක් මෙහි ලියා තබනු කැමැත්තෙමි. අනූව දශකයේ මුල් අවදියේ ඔහු සේවය කලේ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය අදිකාරී වරයා ලෙස වන අතර අප පාසල් සිසුන් වූයෙමු. මාගේ නැන්දනිය එම රෝහලේ ප්‍රදාන හෙද නිලධාරිනිය වූ අතර අප සියල්ලන් නිල නිවාස වල වාසය කෙළෙමු. මේ කාලයේ වෛද්‍ය තුමාගේ මග පෙන්වීම මත බදුල්ල මහ රෝහල මගින් වෛද්‍ය ප්‍රදර්ශනයක් සංවිදානය කල අතර එය රෝහල් පරිශ්‍රය තුල ඉතා අඩු පහසුකම් යටතේ මානව සංවිධානය කල එවන් ප්‍රදර්ශනයක් රෝහලක් තුල මා නොදැක්කෙමි. ඔහු එහිදී දිනපතා සිසුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වූ අතර සිසුන්ගේ ගැටළු වලට එතරම් සාර්ථකව පිළිතුරු සැපයු තවෙකෙක් අපට නොවීය. නැගෙනහිර සහ දකුණු පළාත් තුලින් එකල අතිමහත් ජනකායක් එහි පැමිණි අතර ඔහුගේ ඇවෑමෙන් පසු එවන් දේවල් කල හැකි කිසිදු නිලධරුවෙක් ක්ෂ්ස්ත්‍රය තුල නොදැක්කෙමි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook