Friday, September 20, 2019

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර පිළිබඳව සටහනක්


 වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර  මිය ගිය බව මා මිත්‍ර සහකාර වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි මට පණිවිඩයක් එවා තිබුණි. ඔහුගේ අකල් මරණය සෝකජනකය​. 

මට මුලින්ම චන්දනව මුණ ගැසුනේ මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ය​.  ඒ 1998 විය යුතුය​. ඔහු මා යටතේ ඉන්ටර්න් වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කලේය​. සීමාවාසික සමයේ සිට රෝගීන් කෙරෙහි ඔහු තුල තිබූ කැපවීම මා නිරීක්‍ෂණය කලෙමි. 

වරක් භ්‍රෑණයා මිය ගොස් යැයි සැක කොට ඝර්භාෂය සේදීමට යොමු කොට සිටි මුස්ලිම් කාන්තාවකගේ  භ්‍රෑණයා මිය ගොස් නොමැති බව මා සොයා ගත්තෙමි. ඉන් පසුව ඉතා ඉක්මනින් සීසර් ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය විය​. මෙම කාන්තාවට අවශ්‍ය ලේ සූදානම් කොට ශල්‍යාගාරය දැණුවත් කොට චන්දන එම සීසර් ශල්‍යකර්මය කිරීමට මට සහාය විය​. එදා ඔහුගේ සහාය නිසා මට ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය​. 

2007 වසරේදී මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විට ඔහු මා සමග මාදම්පේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක  කාර්‍යාලයේ මා සමග සේවය කලේය​. අප දෙදෙනාගේ මේස තිබුනේ එක ලඟය​. එදා ඔහු මගේ ඉන්ටර්න්වරයා වූවද මාදම්පේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක  කාර්‍යාලයේදී අප මිතුරන් වූයෙමු. සැබවින්ම ඔහු යහපත් මිත්‍රයෙකු විය​. 

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සමග  අප දෙදෙනා  මුළු දිස්තික්කය පුරා ගියෙමු. කෙතරම් වැඩ කලත් චන්දන විඩාබර නොවීය​. ඔහු සමග වැඩ කිරීම විනෝදයක් විය​. 

පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලංකාවේ වෛද්‍ය සේවයට දායාද කල වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර යහපත් වෛද්‍යවරයෙකු විය​. ඔහු ගිණි කන්නෙකු මෙන් පුද්ගලික සේවාවේ ඇලී ගැලී රෝගීන් මරාගෙන කෑවේ නැත​. ඔහු රෝගීන්ට කරුණාවෙන් සැලකුවේය​. ඔහු සෑමදෙනාගේම මිතුරෙකු විය. සැබවින්ම වෛද්‍ය චන්දන චන්ද්‍රසේකරට සතුරන් සිටියේ නැත​. 

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර තුල සාහිත්‍යකාමියෙකු මෙන්ම සංගීතවේදියෙකුද සිටියේය​. ඔහු ටෙලි නාට්‍ය කලාවද හොඳින් දැන සිටියේය​. බොහෝ දක්‍ෂතා තිබූ වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර අප හැර ගියේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතකය​. 
චන්දනලා වැනි නිර්ව්‍යාජ වෛද්‍යවරු ලංකාවට අවශ්‍ය යුගයක ඔහු අප හැර ගියේය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook