Wednesday, January 7, 2015

ෆේස් බුක් සන්තෑසිය​

                                               

 

මම වාහනය පදවගෙන ගියේ බ්‍රයිඩ්ල් පාත් එක හරහා , මේ පාරේ මාක් සකබර්ගේ ගෙයක් තියනවා.  බ්‍රයිඩ්ල් පාත් එකේ ගෙවල් අති විශාල නොවූනට ඒ ගෙවල් වල අමුතු ලස්සනක් තියනවා. මාක් සකබර්ගේ ගෙදර ලඟ මසරාටියක් නවත්වලා තිබුනා.  ෆේස් බුක් එකෙන් වාසනාව සොයා ගිය මිනිසා. 

ලංකාවේ ෆේස් බුක්  හින්දා කෙල්ලො කොල්ලෝ දිවිනසාගෙන තිබුණු  නිසා ෆේස් බුක් තහනම්ක් ලංකාවේ  කරන්න සමහරු උත්සහ කෙරුවලු. කෙල්ලො කොල්ලෝ බස් හෝල්ට් ලඟ අඳුරගෙන පස්සේ ප්‍රේම සම්බන්ධ කැඩුනම මැහි තෙල් බොන නිසා  බස් හෝල්ට් ගලවලා දමන්න කියලත් මේ අය නීති ගෙනෙයි. ඒ වගේම ලණු , සාරි යොදාගෙන එල්ලෙන නිසා ඒවත් තහනම් කරොත් හොඳයි. 

ෆේස් බුක් ගමටත් ගිහිල්ලා. දවසක් ගමේ මිනිහෙක් කුඹුර කොටලා හති අරින්න  නියර උඩ වාඩි වෙලා  විටක් සප්පායම් වෙන ගමන්  වී ගන්න කුඹුරට ආපු මුදලාලිගෙන් ඇහුවළු මුදලාලි ඔය පේස් බුක්ද මොකද්දෝ එකකට ගියහම කොල්ලෝ ගංජා ගැහුවා වගේ මංඤං වෙනවා කියන්නේ ඇත්තද කියලා.  

බ්‍රයිඩ්ල් පාත් එකේ දෙමල දොස්තර කෙනෙක් ගේ ගෙයක් තියනවා කියලා මයුරන් දවසක් කිව්වා. ඒක ඇත්තක් වෙන්න ඇති. අසූ තුනේ අපේ දේශප්‍රේමියෝ හදලා දුන්න පාලම නිසා දෙමල මිනිස්සු තොග ගනනේ මේ පැත්තට ආවා. දැන් දෙවන තුන්වන පරම්පරාව විශ්ව විද්‍යාල වලට ගිහිල්ලා හොඳ  රස්සා කරගෙන ඉන්නවා. බ්‍රයිඩ්ල් පාත් එකේ දෙමල දොස්තර කෙනෙක්  ඉන්න එක පුදුමයක් නෙවෙයි. 

ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ට්‍රයික්, නවක වද නිසා ඒ ලෙවල් වලින් පස්සේ ළමයි ගොඩක් උසස් අධ්‍යාපනයට මෙහාට ඇවිල්ලා. මෙහෙ වියදම සැර උනාට ලෝකයේ ඉහලම මට්ටමේ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ශාලිතත් එහෙම ආපු කෙනෙක්. ශාලිතගේ ෆේස් බුක් එකේ මෙහෙ ඉගනගන්න කොල්ලො කෙල්ලෝ පිරිලා. ඒකේ හමුදුරුවෝ කෙනෙකුත් ඉන්නවා. හාමුදුරුවොත් ෆේස් බුක්. 

ශාලිත කිව්වෙ ෆේස් බුක් එක හරහා තමයි ළමයි අධ්‍යාපන වැඩ සාකච්චා කලේ ප්‍රොජෙක්ට් එහෙම කරන අන්දම ගැන අදහස් හුවමාරු කරගත්තේ කියලා. ඒක ඇත්ත වෙන්න ඇති. විශ්ව විද්‍යාලේ කැෆ ෙට් රියා එකට ගියාම ළමයි ඔක්කොම වගේ ලැප් ඔන් කරගෙන ෆේස් බුක්. සමහර ලෙක්චරස්ලා මල්ටි මීඩියා ප්‍රසන්ෙටෂන් පවා පෝස්ට් කලේ ෆේස් බුක් එකේ. 

ගිය මාසේ රැල්ෆ් ජැමෙයිකාවට ගියා සති ගනනකින් කෝල් එකක් ආවේ නැති නිසා රැල්ෆ් ගේ පවුලේ අය තරමක් නොසන්සුන්ව හිටියේ. රැල්ෆ් ෆේස් බුක් එකේ තමන් හොඳ සනීපෙන් ඉන්නවා කියලා පොස්ට් එකක් දලා තිබුන නිසා තත්වය සමනය උනා. 

 දවසක් හවසක අන්තර්ජාලය  හරහා ලංකාවේ නිවුස් බලන කොට තවත් ෆේස් බුක් මරණයක් වෙලා ඇල්පිටිය පැත්තේ. මහේත්‍රාත් පරීක්‍ෂණයට ඇවිල්ලා කෙලින්ම   දෙමාපියන් ගෙන් අහන්නේ ළමයා ෆේස් බුක් යනවද කියලා. ෆේස් බුක් කියන්නේ නොමනා තැනක් ද ? සමහර විට   සර්පයාගේ වලගින් අල්ල ගත්ත වගේ අපේ මිනිස්සු  ෆේස් බුක් එක වලගින් අල්ල ගත්තද දන්නෙත් නැහැ. 

මෙහෙ ඊයේ පෙරේදා චන්දයක් තිබ්බා. ඉටි කොළ , රැස්වීම් , ගහ මරා ගැනිලි , වෙඩි තියාගැනීම් , කුණුහරුපකීම් මොනවත් නැහැ. සමාජ - සංස්කෘතික මට්ටමින් ලංකාව උසස් තත්වයකට ආපු කාලයක මේ වගේ තියෙයි. හැබැයි ඒක අපේ ජීවිත කාලය ඇතුලත බලාගන්න පුළුවන් වෙයිද ? දෙයියෝ තමයි දන්නේ.  චන්ඩි මල්ලිලා ,  චෙකා මල්ලිලා ජනතාව පාලනය කරන දේශයක සමහර විට මේ වෙනස දකින්න තව අවුරුදු සීයක්වත් යයි. 

 මම වාහනයේ වේගය  අඩු කරා .  බ්‍රයිඩ්ල් පාත් එක පහුවූ ගමන් තියෙන්නේ ඉස්පිරිතාලේ. එ් නිසා උපරිම වේගය පණහයි. වේගය පාළනය කරගෙන ගියොත් කරදරයක් නැහැ. ෆේස් බුක් එකත් එහෙම වෙන්න ඇති. මට නිකමට හිතුනා.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

 

10 comments:

  1. මේක ලංකාවේ පත්තරයකට ලියලා එව්වා නම් හොඳයි.

    1. සත්තු වගේ කාකොටාගන්නේ නැතුව මිනිස්සු වගේ මැතිවරණ පැවැත්වීම.

    2. පුහු වැඩවලට වඩා හරවත් දේවලට සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කිරීම.

    මේ දෙකම අපේ ජීවිත කාලය තුළ ලංකාවේදී දකින්න බැරිවෙයි. ඇත්තටම ඒ ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. @ විචාරක - මේ දෙකම අපේ ජීවිත කාලය තුළ ලංකාවේදී දකින්න බැරිවෙයි..ඇත්තටම ඒ ගැන දුකයි.-........... ඒ ගැන හිතන කොටත් දුකයි

      Delete
  2. ඔව්. වේගය පාලනය කරගෙන ගියොත් අවුලක් නෑ. නොදන්නා දේට බය වෙන එක හුඟක් සුලබ දෙයක්.

    ReplyDelete
  3. ෆේස් බුක්...මිනිසුන් චිත්ත ආවේග මුදාහැර...ප්‍රථිපල බලන...සයිබර් අවකාශය !!!.

    ReplyDelete
  4. මම නම් කැමති වේගයෙන් යන මිනිස්සුන්ට... සකර්බර්ග් කියන්නෙත් එහෙම පොරක්... මක්කා කොරන්නෙයි... ඔහෙත් හයි ඉස්පීඩ් ගියාට.... අම්මට සිරි ලංකාවෙම පොරක් නේ.... තරහා අවසර...

    නිවාඩු පාඩුවේ කල්පනා කරලා බලන්නකො හිටන්...

    ReplyDelete
  5. රට ගිනි තිබ්බේ ෆෙස්බුකියද , නැත්තම් ?

    ලිංකුව ඔබල ලිපිය කියවන්න. ලංකාවේ ෆේස්බුක් එකට ඉබ්බෝ දාල නිසා රුවන් ජයතුංග මහත්මයාගේ යාළුවන්ට මේ ආරාධනාව

    http://sudukukula.blogspot.com/2018/03/blog-post_13.html

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook